brand logo

20 ගැන යළි හිතන්නැයි හිමිවරු ජනපතිගෙන් ඉල්ලයි

17 October 2020

  ආන්දෝලනයකට ලක්ව තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නැවත සිතා බලන මෙන් ජාතික සංවිධානවල හිමිවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත සංදේශයක් යොමු කරමින් ඉල්ලා තිබේ. පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ, පූජ්‍ය මුරත්තෙට්ටුවේ ආනන්ද යන හිමිවරුන් ඇතුළු ජාතික සංවිධානවල හිමිවරුන්ගේ අත්සනින් යුතුව එම සංදේශය ජනාධිපතිවරයාට යොමු කර තිබේ. ‘‘රටට ජාතියට වින කරන පනත් කෙටුම්පත් රාශියක් යහපාලන ආණ්ඩු සමයේ දී ගෙන එන ලැබූ විට ඒවා පරාජය කිරීමට හැකි වූයේ භික්ෂුන් වහන්සේලා ඇතුළු දේශප්‍රේමී පුරවැසියන් විසින් ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කළ බැවිනි. හදිසි පනත් ගෙන එනු ලබන ක්‍රියාවලියේ දී එම අයිතිය ජනතාවට අහිමි වෙයි. එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය. 1987 දී 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනතා කැමැත්තට එරෙහිව බලහත්කාරයෙන් ගෙන ආ පරිද්දෙන්ම අනාගතයේ දී එම්.සී.සී. වැනි රට පාවාදෙන නීති හදිසි පනත් ලෙස පැනවිය හැකිය’’ යනුවෙන් අදාළ හිමිවරුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ සංදේශයේ සඳහන් වේ. ‘‘මෙම ආණ්ඩුව පත්වීමේ දී ජනතාවට දුන් පොරොන්දුව වූයේ අලුත් ව්‍යවස්ථාවකි. කුමන ආකාරයේ ව්‍යවස්ථා සංශෝධනයක දී වුවද දැනට රට මුහුණ පා සිටින සැබෑ අර්බුදවලට විසඳුම් ලබා දීමට පියවර ගත යුතුය. ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් අනිවාර්‌යෙන්ම පාර්ලිමේන්තුවේ අනුමැතියට යටත්ව අත්සන් කිරීම සහතික කරන වගන්තිද, නිශ්චිත ලෙස ජාතික ප්‍රතිපත්ති හා සැලැසුම් සකස් කර නීතිගත කිරීම අනිවාර්ය කරන වගන්තිය ද ඇතුළු කරුණු රැසක් එම ව්‍යවස්ථා සංශෝධනයට අභිනවයෙන් ඇතුළත් කළ යුතු බවද එම සංදේශයේ සඳහන් වෙයි. ඉෂාර රත්නකාර
 

More News..