brand logo

20න් පසු සති 2ක් පොදු ප්‍රවාහණය අත්‍යවශ්‍ය සේවා සඳහා පමණයි

17 April 2020

අප්‍රේල් මස 20න් පසු සති දෙකක් යන තෙක් අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් පොදු ප්‍රවාහණ සේවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා උපදෙස් දී ඇත. විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද(17) විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍යාංශයේ දී මේ බව පැවසීය. එම සාකච්ඡාවට දුම්රිය දෙපාර්තමේන්තුව, ලංකා ගමනාගමන මණ්ඩලය, ජාතික ගමනාගමන කොමිසම හා මොටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ඇතුලු ආයතනවල නිලධාරින් සහභාගි වූහ. ඒ් අනුවමෙම මස 20 දායින් පසුව නැවතත් රාජ්‍ය හා පුද්ගලික අංශයේ කටයුතු ආරම්භ කිරීමට රජය තීරණය කළහොත් පොදු ප්‍රවාහණ සේවාවල දී මහජන ආරක්ෂාව උදෙසා පහත සඳහන් තීරණ ගනු ලැබීය.
  • සෞඛ්‍ය හා ආරක්ෂක අංශ විසින් ලබා දෙන උපදෙස් තදින්ම ක්‍රියාත්මක කිරීම සෑම දුම්රිය ස්ථානයක දීම දුම්රිය මගීන්ගේ ශාරිරික උෂ්ණත්වය මැනීම හා කිසියම් පුද්ගලයෙක් උණ, කැස්ස හා ප්‍රතිශ්‍යාව සහිත නම් වහාම එම පුද්ගලයා සම්බන්ධව සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි කටයුතු කිරීම.
  • මගී ප්‍රවාහණ සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් ලබා දීම.
  • දුම්රිය ආඥා පනත තදින්ම ක්‍රියාත්මක කිරීම. ඒ අනුව දුම්රිය මැඳිරි තුළ හෝ දුම්රිය මාර්ගයට කෙළ ගැසීම, දුම්රිය ස්ථානවල හෝ මැඳිරිවල වෙළඳාම් කිරීම හා සිගමන් යැදීම සම්පුර්ණයෙන්ම තහනම් වන අතර එවැනි පුද්ගලයින්ට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කිරීම.
  • සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල උපදෙස් පරිදි දුම්රිය හා බස්රථවල ගමන් ගන්නා මගීන් මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය කිරීම , මීටරයක් දුරින් පරතරයක් තබාගෙන ගමන් කිරීම වැනි සෞඛ්‍ය නිර්දේශ අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කිරීම.
  • සැම දුම්රිය ස්ථාන, මැඳිරි මෙන්ම බස් රථ අඩු තරමින් දින දෙකකට වරක්වත් විෂබීජානුහරණය කිරීම හා ඊට අවශ්‍ය විෂබීජ නාශක ද්‍රව්‍ය ඛනිජතෙල් සංස්ථාව මගින් ලබා දීම.
  • අත්‍යවශ්‍ය සේවාවන්ට අයත් නොවන නොවන කිසිදු අයෙක් දුම්රිය හෝ බස් රථවලට ඇතුළත් කර නොගැනීම.
  • ඇතැම් පුද්ගලයින් නෑගමන් යාම වැනි දෑවලට පෙළඹිය හැකි බැවින් එවැනි අය සඳහා ප්‍රවාහණ පහසුකම් නොසැපයීම.
  • ලබන සඳුදා 20 දින මේ සම්බන්ධයෙන් පත් කරන ලද කමිටුව විසින් සකස් කරනු ලබන වැඩ පිළිවෙළ අමාත්‍යවරයා සමග ලබන බදාදා 22 දින සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජයට එම වැඩ පිලිවෙළ දැනුම් දීමට නියමිතය.
  • එමෙන්ම සති දෙකක් යන තෙක් පොදු ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යනු ලබන්නේ ලාභ ඉපයීමේ පරමාර්ථයෙන් නොව මහජන සේවාවන් පවත්වාගෙන යාම හා අත්‍යවශ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා පමණක් බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
  • ඒ් අනුව රජය විසින් ලබා දෙන උපදෙස් පරිදි මගීන්ට කිසිදු හිරිහැරයකින් තොරව ගමන් කළ හැකි පරිදි මෙන්ම කොවිඩ් 19 වසංගතය වළක්වා ගැනීම සඳහා රජය විසින් ගෙන යන ක්‍රියාමාර්ගවලට සහාය ලබා දෙමින් පොදු ප්‍රවාහණ සේවය ක්‍රියාත්මක කිරීමට වග බලා ගන්නා ලෙස ද අමාත්‍යවරයා නිලධාරින්ට උපදෙස් දුන්නේය.
 

More News..