brand logo

20ට සහය දුන් සමගි ජන බලවේගයේ සියලු මන්ත්‍රීවරුන් නෙරපයි

23 October 2020

ඒකාධිපති විසි වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධවීම සදහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු කණ්ඩායම ගෙන තිබූ තීන්දුවට පිටුපා එම සංශෝධනයට සහාය ලබාදුන් විපක්ෂයේ සිටින සියලුම මන්ත්‍රීවරු සමගි ජන බලවේගයේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට අද සවස රැස්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම ඒකමතිකව තීරණය කර තිබේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම අද සවස පැවති අතර, මීට පෙර පැවති කණ්ඩායම් රැස්වීම් තුනකදීම විසි වැනි සංශෝධනයට හා ජාති ද්‍රෝහී ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධවීමට තීන්දු කළ නිසා එම තීන්දුවට පිටින් කටයුතු කළ මන්ත්‍රීවරුන් මෙසේ මන්ත්‍රී කණ්ඩායමෙන් නෙරපීමට තීරණය කළේය. විසි වැනි සංශෝධනයට විරුද්ධවීමේ පක්ෂයේ තීන්දුවට එරෙහිව ගොස් එම සංශෝධනයට සහාය ලබාදුන් සියලුම මන්ත්‍රීවරුන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග හා නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද මන්ත්‍රී කණ්ඩායම තීරණය කළේය. මේ අතර පක්ෂ තීන්දුවට පිටුපෑ සියලුම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමේදී සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම සමග අසුන් ගැනීම වලක්වන ලෙසත් ඉල්ලා සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට ලිපියක් යොමු කිරීමටද මෙහිදී තීරණය කර ඇත. මුළු දිවයිනම ආවරණය වන පරිදි සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස සියලුම සංවිධාන කටයුතු ඉක්මනින් ආරම්භ කිරීමටද මෙහිදී වැඩිදුරටත් තීරණය කළේය.
 

More News..