brand logo

2/3 ක් ලැබුණොත් ‘19’ ඉවතට - ජනාධිපති ගෝඨාභය ‘ද හින්දු’ පුවත්පට කියයි

02 December 2019

ශ්‍රී ලංකාවේ සුදු වෑන් භාවිත කරමින් මිනිසුන් පැහැර ගැනුණු බවට කියැවෙන කතාව ප්‍රබන්ධයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ‘ද හින්දු’ පුවත්පතට සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබේ. ඉන්දීය සංචාරය අතරතුර ජනාධිපතිවරයා ද හින්දු පුවත්පතට මෙම සාකච්ඡාව ලබාදී තිබේ. සුදු වෑන් චෝදනාව පිළිබඳ මහින්ද රාජපක්ෂ රජය සමයේදීද පරීක්ෂණ පැවැත්වූ බව කියන ජනාධිපතිවරයා මෛත්‍රිපාල සිරිසේන රජය පැවැති සමයේදීද පරීක්ෂණ කළ බව කියා ඇත. එහෙත් තමන්ට විරුද්ධව කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොහැකි වූ බව ජනාධිපතිවරයා හින්දු පුවත්පතට පවසා ඇත. යුද්ධය පැවැති සමයේ ජනමාධ්‍යයට යම් සීමා පැනවීම් සිදු කළත් යුද්ධය අවසන් වූ පසු එවැනි කිසිදු වාරණයක් රටේ ක්‍රියාත්මක නොවූ බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිවරයා වැඩිදුරටත් හින්දු පුවත්පතට මෙසේද පවසා ඇත. ‘‘දෙමළ ජනතාවගේ නිදහස ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවෙන්ම සහතික කොට තිබෙනවා. කෘෂිකර්මාන්තයේ නියුතු ජනතාවගේ සුබසාධනය තවත් ඉහළ නැංවිය යුතුයි. කිසිදු සිංහල පුරවැසියෙක් ද්‍රවිඩ ජනයා වෙසෙන ප්‍රදේශ සංවර්ධනය කිරීම පිළිබඳව විරුද්ධ නැහැ. බහුතර ජනතාවගේ කැමැත්තට පිටුපාමින් කිසිවක් කළ නොහැකියි. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ප්‍රකාරව පොලිස් බලතල ලබාදීම ආදී කරුණු හැර වෙනත් කරුණු පිළිබඳව මා සාකච්ඡා කිරීමට සූදානම්. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ රජය තුනෙන් දෙකක බහුතරයක් ලබා ගතහොත් 19 වැනි ව්‍යවස්ථාව අනිවාර්යයෙන්ම ඉවත් කරන්න පුළුවන්. 19 වැනි සංශෝධනය ක්‍රියාත්මක වෙන්නේ නම් එය මෛත්‍රිපාල සිරිසේන - රනිල් වික්‍රමසිංහ මෙන් ගැටුම් ඇති කරන ආකාරයට නොව සහෝදරයන් දෙදෙනකු යටතේ එය ක්‍රියාත්මක වීම වඩාත් යෝග්‍ය බව ජනාධිපතිවරයා හින්දු පුවත්පතට ප්‍රකාශ කොට ඇත. ‘‘රටක් පාලනය කිරීම සඳහා දේශපාලන ස්ථාවරත්වය අවශ්‍යයි. ඉකුත් රජය යටතේ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර තිබූ ගැටුම් හේතුවෙන් මෙරටට ආයෝජකයන් පැමිණීමට අකැමැති වුණා. උතුරු නැගෙනහිර සංවර්ධනය ඇතුළු තමා ගන්නා සියලුම ක්‍රියාමාර්ග පිළිබඳ වසර 5 අවසානයේදී විනිශ්චය කරන්න මා සූදානම්.’’ කලණ වීරසිංහ
 

More News..