brand logo

20වැනි සංශෝධනය සම්මත වෙයි

23 October 2020

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඡන්ද 156 ක් ලබා ගනිමින් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඊයේ (22 වැනිදා) රාත්‍රියේ පාර්ලිමේන්තුවේදී සම්මත විය. සංශෝධන පනත් කෙටුම්පත සම්මතවීම සඳහා තුනෙන් දෙකක බහුතරයක්( ඡන්ද 150 ක්) අවශ්‍ය වූවත් ඒ සඳහා ඡන්ද 156.ක්ම ලැබිණි. විපක්ෂයේ මන්ත්‍රීවරුන් 08 ක් පක්ෂව ඡන්දය දුන්හ. ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධව ඡන්ද 65.ක් ප්‍රකාශ විය. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂයේ ද්‍රවිඩ පක්ෂ විරුද්ධව ඡන්දය පාවිච්චි කළහ. දැඩි මතභේදයකට තුඩු දී තිබූ ද්විත්ව පුරවැසිභාවයට අදාළ සංශෝධනයද සම්මත වූයේ ඡන්ද 157ක් ලබා ගනිමිනි. සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මන්ත්‍රී ෆයිසාල් මුෂාරෆ් ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය නොදුන් නමුත් ද්විත්ව පුරවැසිභාවයට අදාළ සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළේය. පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ සිටියේ නැත. අණ්ඩු පක්ෂයේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාද සංශෝධනයට පක්ෂව ඡන්දය දුන්නේය. විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන ඩයනා ගමගේ (සජබ), අරවින්ද කුමාර් (සජබ). ඊෂාක් රහුමාන් ( සජබ), මොහොමඩ් නසීර් අහමඩ් (සජබ),මොහොමඩ් හාරිස් (සජබ),ෆයිසාල් කාසිම් (සජබ), මොහොමඩ් තවුෆික් ( සජබ), මොහොමඩ අලි සබ්රි (මුස්ලිම් ජාතික සන්ධානය), යන මන්ත්‍රීවරු ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂ වූහ. 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අදාළ දෙදින විවාදය ඊයේ (22 වැනිදා) රාත්‍රි 7.30 ට අවසන් වූයේ අධිකරණ ඇමැති අලි සබ්රි විසින් සිදු කළ පිළිතුරු කතාව සමගිනි. විවාදය අවසන් වූ පසු පාර්ලිමේන්තුව කාරක සභාවක් බවට පත්කරනු ලැබීය. එහිදී ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වෙනුවෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සංශෝධන ඉදිරිපත් කළේය. ආණ්ඩුව විසින් සංශෝධන 60ක්ද විපක්ෂය සංශෝධන 57ක්ද ඉදිරිපත් කරන ලදී. ආණ්ඩු පක්ෂයේ සංශෝධන සියල්ල පිළිගත් අතර විපක්ෂයේ සංශෝධන රැසක් ආණ්ඩුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී. අනතුරුව පාර්ලිමේන්තුව යළි රැස්වී සංශෝධන සහිත ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා ඡන්දය විමසන ලදී. ආණ්ඩු පක්ෂයට හිමි මන්ත්‍රී ආසන සංඛ්‍යාව 150 කි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන 145ක්, ඊපීඩීපී ආසන 02 ක්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන 01 ක් හා විනයාගමූර්ති මුරලිදරන් (පිල්ලෙයාන් ) සහ ඒ.එල්.එම් අතාවුල්ලා යන මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් ආණ්ඩුවේ මන්ත්‍රී සංයුතිය සකස්වී ඇත. විපක්ෂය සතු සමස්ත ආසන සංඛ්‍යාව 75 කි. ඉන් ආසන 02 ක් පුරප්පාඩුව පවතී. ඉතිරි ආසන සමගි ජන බලවේගයට ආසන 54 ක්, ජාතික ජන බලවේගයට ආසන 03 ක්, ද්‍රවිඩ ජාතික සන්ධානයට ආසන 10 ක් දෙමළ එක්සත් ජනතා පෙරමුණ ( ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්) ආසන 02 ක්, දෙමළ ජනතා ජාතික සන්ධානය ( සී.වී. විග්නේෂ්වරන්) ආසන 01 ක්, සහ මුස්ලිම් කොංග්‍රසය ( නසීර් අහමඩ්) ආසන 01, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රස්( මොහොමඩ් මුෂාරෆ්) ආසන 01, සහ මුස්ලිම් ජාතික සන්ධානය (මොහොමඩ් අලි සබ්රි) ආසන 01ක් ලෙස බෙදී ගොස් ඇත. අජිත් අලහකෝන්
 

More News..