brand logo

1998ට කතා කළොත් රු.1998ට බඩු මල්ලක්

20 August 2021

භාණ්ඩ වර්ග 20ක සහන මල්ලක් අද සිට පාරිභෝගිකයින්ගේ නිවසටම

සහල්, පිටි, සීනි ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග විස්සකින් සමන්විත සහන මල්ලක් රුපියල් 1998.00 ක මිලකට පාරිභෝගිකයාගේ නිවසටම බෙදා හැරීමේ වැඩපිළිවෙළක් සතොස මගින් අද (20 වැනිදා) සිට රට පුරා ක්‍රියාත්මක කරන බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන ඊයේ (19 වැනිදා) පැවැසුවේය.

1998 දරන ක්ෂණික දුරකතන අංකය හෝ www.lankasathosa.lk ඔස්සේ මෙම භාණ්ඩ මල්ල ඇණවුම් කළ හැකි බව ඇමැතිවරයා කීවේය.

උතුරු නැගෙනහිරද ඇතුළු සතොස අලෙවිසල් හාරසිය පහළොව හරහා පැය විසි හතරක් තුළ කිසිදු ප්‍රවාහන ගාස්තුවකින් තොරව නිවසටම මෙම භාණ්ඩ මල්ල ගෙනැවිත් භාරදෙන බව ඇමැතිවරයා පැවැසුවේය. මෙම සේවාව සති දෙකක කාලයක් ක්‍රියාත්මක කරන අතර ලංකා බෙල් ආයතනයේ යතුරු පැදිකරුවන් පන්සියයක් මෙම සහන මල්ල පාරිභෝගිකයාගේ නිවසට බෙදා හැරීමේ කටයුත්තට දායක වන බවද ඇමැතිවරයා පැවැසුවේය. රතු කැකුළු සහල් කිලෝ ග්‍රෑම් දෙකක්, සුදු කැකුළු සහ නාඩු සහල් කිලෝ ග්‍රෑම් එකක්, පරිප්පු සහ පාන්පිටි, කිලෝව බැගින් හාල්මැස්සන්, තේ කොළ, මිරිස්, ගම්මිරිස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග විස්සක් අඩංගු මෙම සහන මල්ලෙන් පාරිභෝගිකයාට රුපියල් හය සියයක පමණ සහනයක් ලැබෙන බවද ඒ මහතා පැවසුවේය. සාමාන්‍යයෙන් වෙළඳපොළේ මෙම සහන මල්ලේ ඇති භාණ්ඩ එකතුවේ වටිනාකම රුපියල් දෙදහස් හයසියයකට අධික බවද ඊයේ (20දා) වෙළෙඳ අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා ප්‍රකාශ කළේය. අජිත් අලහකෝන්
 

More News..