brand logo

19 නිසා නව ආණ්ඩුව ඉදිරියේදී ව්‍යවස්ථාදායක සභාව සමග ගැටෙයි

07 December 2019

නව රජයක් හා ආණ්ඩුවක් පත් වුවද ව්‍යවස්ථාදායක සභාව නොවෙනස් වීම නිසා ඉදිරියේදී විධායකය සමග ව්‍යවස්ථාදායක සභාව ගැටුම් ඇති විය හැකි බව නීති විශාරදයන් පවසයි. නව ජනාධිපති ලෙස ගෝඨාභය රාජපක්ෂ පත්වීමත් සමග හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ එම ධුරයෙන් ඉවත් වීමෙන් පසු නව අගමැති ලෙස මහින්ද රාජපක්ෂ පත්විය. කෙසේ වෙතත් රටේ ප්‍රධාන තනතුරු සඳහා පුද්ගලයන් පත් කිරීම 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ව්‍යවස්ථාදායක සභාව මගින් සිදු කරයි. ඒ අනුව කථානායක, අගමැති, විපක්ෂ නායක සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයෙක්, සුළු පක්ෂ නියෝජිතයෙක්, අගමැතිවරයාගේ නියෝජිතයෙක් විපක්ෂ නායක නියෝජිතයෙක් හා අගමැතිවරයා නම් කරනු ලබන සිවිල් පුද්ගලයන් තුන් දෙනකු වශයෙන් සාමාජිකයන් දස දෙනකු ව්‍යස්ථාදායක සභාව නියෝජනය කරයි. ඒ අනුව වර්තමාන කථානායක කරු ජයසූරිය, ඇමැති මහින්ද රාජපක්ෂ හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස එය නියෝජනය කරනු ලබයි. එහෙත් සෙසු සාමාජිකයන් ලෙස පත්ව සිටින අයගේ ධුර කාලය වසර තුනක් ඉක්ම යන තෙක් යළි වෙනස් වන ආකාරයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් කර නොමැත. ඒ අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝජිතයා ලෙස පත් කළ අමාත්‍ය මහින්ද සමරසිංහගේ ධුර කාලය 2021 සැප්තැම්බර් 17 දිනෙනුත්, සුළු පක්ෂ නියෝජනය සඳහා පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක එවකට අගමැති රනිල් වික්‍රමසිංහගේ නියෝජිතයා ලෙස පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තලතා අතුකෝරල, අගමැතිවරයා නම් කළ සිවිල් ක්‍රියාකාරීන් වන ජයන්ත ධනපාල, එස්. සිල්ව කුමාරන්, ජවුඩ් යසූර් යන අයගේ ධුර කාලය 2021 ඔක්තෝබර් 10 දිනෙන් අවසන් වීමට නියමිතය. විපක්ෂ නායක නියෝජිතයා ලෙස එවකට හිටපු ආර්. සම්බන්දන්ගේ කාලය අවසන් වන්නේ 2022 අප්‍රේල් 05 දිනෙන් බව වාර්තා වේ. එහෙත් නව ආණ්ඩුවක් පත්වූ පසු ව්‍යවස්ථාදායක සභාව වෙනස් වන ආකාරයක් 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් නොවේ. අග්‍රවිනිශ්චයකාරවරයා, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයන්, අභියාචනාධිකරණයේ සභාපතිවරයා සහ විනිශ්චයකාරවරුන් නීතිපතිවරයා, විගණකාධිපතිවරයා, පොලිස්පතිවරයා, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාව, ජාතික පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම, ජාතික විගණන කොමිසම, මුදල් කොමිෂන් සභාව ආදී කොමිෂන් සභාවල සභාපතිවරුන් හා සාමාජිකයන් යන සියලු තනතුරු පත් කරනු ලබන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමතයෙනි. ඒ අනුව නව ජනාධිපතිවරයා අගමැතිවරයා හා විපක්ෂ නායකවරයාගේ අභිමතය පරිදි ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇති බව නීතිවේදීහු පවසති. මේ සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ ව්‍යවස්ථාදායක සභාවට පත්වන සාමාජිකයන්ගේ ධුර කාලය වසර තුනකට යටත් වන නිසා ඔවුන් ඉවත් කිරීමේ ක්‍රමවේදයක් සම්බන්ධයෙන් දක්වා නොමැති බවයි. චමින්ද සේනාරත්න
 

More News..