කතුවැකි

19 සංශෝධනයේ තවත් අර්බුදයක්

ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් ගෙන ආ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පසුකාලීනව ඇතමෙකු හැඳින්වූයේ ජේ.ආර්.ගේ බහුබූත ව්‍යවස්ථාව යනුවෙනි. ව්‍යවස්ථාවෙන් මෙරට දේශපාලනයට හඳුන්වා දුන් ඇතැම් ප්‍රතිපාදන හා භාවිතාවන් සංශෝධනය කිරීම කෝඳුරු තෙල් හත් පට්ටියකුත් තවත් ටිකක් සොයා ගැනීමටද වඩා අසීරු වූ නිසාය. මේ අතරින් මූලික කාරණයක් වූයේ විධායක ජනාධිපති ක්‍රමයයි. ජේ.ආර්. විධායක ජනාධිපති ධුරය හඳුන්වා දුන්නේ රට සංවර්ධනය කිරීමට නම් ශක්තිමත් නායකයකු සිටිය යුතු බව පවසමිනි.

විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන් දිනයේ සිටම එය ඉවත් කරන බව කීම ඡන්ද පොරොන්දුවක් විය. එය මේ දක්වා ඉටු වී නැතත් මේ වන විට විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදුවක් සිදුව තිබේ. ඒ බලතල කප්පාදුව සිදුවුයේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙනි. බහුබූත ව්‍යවස්ථාවක් යැයි කීවත් 78 ව්‍යවස්ථාවේ අපැහැදිලි තැන් තිබුණේ නැත. පැටලැවිලි තිබුණේද නැත. දශක කිහිපයක් පුරා විශ්ලේෂකයන් බහුබූතයක් යැයි කියූ 78 ව්‍යවස්ථාව දැන් අපිට හොඳයැයි සිතෙන්නේ 19 වන සංශෝධනය අති දැවැන්ත බහුබූතයක් වීම නිසාය. එය අන්ධ භූත සංශෝධනයක් යැයි කීම වඩාත් නිවැරදිය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ මේ අන්ධ බූත කම ගැන මීට පෙර බොහෝ අවස්ථාවලදී සාකච්ඡා කෙරී තිබේ. පසුගිය ඉරිදා ‘‘සති අග අරුණ’’ පුවත්පත සිය ප්‍රධාන සිරස්තලයෙන් 19 නිසා මතුව ඇති තවත් අර්බුදයක් වාර්තා කොට තිබිණ. ඒ අනුව නව ජනාධිපතිවරයකු හා නව ආණ්ඩුවක් පත්ව තිබුණද ව්‍යවස්ථාදායක සභාවේ තනතුරුවල වෙනසක් කළ නොහැකිය.

ව්‍යවස්ථාදායක සභාව යනු 19 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගෙන් ඉවත් කොට පාර්ලිමේන්තුව වෙත පැවරූ යම් යම් බලතල ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවනු ලැබූ පරිපාලන ව්‍යුහයකි. අග විනිසුරු, නීතිපති, පොලිස්පති සහ කොමිෂන් සභා සාමාජිකයන් පත් කෙරෙන්නේ ව්‍යවස්ථාදායක සභාව මගිනි. මෙම සභාවේ ප්‍රධානත්වය දරන්නේ කථානායකවරයා විසිනි. අගමැතිවරයා ඔහු විසින් නම් කරන දේශපාලන පක්ෂ නියෝජිතයෙක් හා සිවිල් සමාජයෙන් තිදෙනෙක්, විපක්ෂ නායකවරයා ඔහු විසින් නම් කරන අයකු ජනාධිපතිවරයා විසින් නම් කරන අයකු හා පාර්ලිමේන්තුවේ සුළු පක්ෂ නියෝජනය කිරීමට නියෝජිතයෙක් යන පිරිස එහි සාමාජිකත්වය දරති.

මේ අතුරින් කථානායක, අගමැති හා විපක්ෂ නායක තනතුරු වෙනස් වූ පසු ඒ තනතුරුවලට පත් වන අය ව්‍යවස්ථාදායක සභාවට නිල බලයෙන් පත් වුවත් සෙසු සාමාජිකයන් එලෙස වෙනස් වන්නේ නැත. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ නිලකාලය වසර තුනකි. මේ අනුව වත්මන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ගේ නිල කාලය අවසන් වීමට නියමිතව ඇත්තේ 2021 වසරේ හා 2022 වසරේය. කෙටියෙන් කියන්නේ නම් නව ජනාධිපතිවරයෙක්, අගමැතිවරයකු හා විපක්ෂ නායකවරයකු පත්ව ඇතත් ඔවුන්ට ව්‍යවස්ථාදායක සභාවට තම නියෝජිතයන් නම් කිරීමට ඉඩක් නැත. ඔවුන්ට ඊට අවස්ථාවක් සැලසෙන්නේ දැනට ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකත්වය දරන හිටපු ජනාධිපති, අගමැති හා විපක්ෂ නායකවරයාගේ නියෝජිතයන් සේම පාර්ලිමේන්තුව විසින් නම් කරන ලද සුළු පක්ෂ නියෝජිතයා ඉල්ලා අස්වුවහොත් පමණකි.

ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේ දේශපාලන පාක්ෂිකත්වයෙන් තොරව අගවිනිසුරු, නීතිපති, පොලිස්පති වැනි තනතුරු පත්කිරීම සඳහාය. විශේෂයෙන්ම ස්වාධීන කොමිෂන් සභා සඳහා අපක්ෂපාතී සාමාජිකයන් පත් කිරීමටය. මේ නිසා නව ආණ්ඩුවක් යටතේ හිටපු ආණ්ඩුව පත් කළ ව්‍යවස්ථාදායක සභාව කටයුතු කිරිමේ වරදක් තිබේදැයි යමෙකුට ප්‍රශ්න කළ හැකිය. එසේම පෙර ආණ්ඩුව විසින් පත් කළ සාමාජිකයන් නිසා ව්‍යවස්ථාදායක සභාවේ තීන්දු තීරණ සැබෑ වශයෙන්ම නිර්දේශපාලනීකරණය වනු ඇතැයිද අනුමාන කළ හැකිය.

ඇත්තෙන්ම එය එසේ වන්නේ නම් ඉතාමත් අගනේය. එවැනි භාවිතයක් ඇති වන්නේ නම් එය මෙරට දේශපාලනයට නව අත්දැකීමක් ද යහපත් පූර්වාදර්ශයක්ද වනු නොඅනුමානය.

එහෙත් අපට එවැනි සුබවාදී අනුමානයක් ඇතිකර ගැනීමට තිබෙන සාධක මොනවාද? ව්‍යවස්ථාදායක සභාව පත් කරනු ලැබුවේ පාක්ෂික දේශපාලනයෙන් තොරව තීරණ ගැනීමට වුවත් ඒ සඳහා පත් කිරීම් කරනු ලබන්නේ දේශපාලනඥයන් විසිනි. එහි වැඩිම නියෝජනයක් ඇත්තේ අගමැතිවරයාටය. දේශපාලකයකු වන අගමැතිවරයා යම් තැනකට විශේෂයෙන්ම තීන්දු තීරණ ගන්නා තැනකට නම් කරන්නේ තමන්ගේ දේශපාලනය අනුමත කරන තමන්ගේ දේශපාලනයට හානියක් නොකරන අයකු බව අමුතුවෙන් කිව යුතු නැත. එසේ නම් හිටපු අගමැතිවරයා පත් කළ ව්‍යවස්ථාදායක සාමාජිකයන්ට නව අගමැතිවරයා නියෝජනය කළ හැකිද?

එකම පෙරමුණකින් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර දේශපාලන මතවාදයන් ඇතිවූ අවස්ථාවේ ව්‍යවස්ථාදායක සභාව ආණ්ඩුව රාජ්‍ය පාලනයේ ඇති වු අර්බුද කොතෙක්ද? මේ නිසා රටේ පාලනයක් නොතිබූ තත්ත්වයක් දක්නට තිබූ බව අපට අමතකව නැත. එකම පෙරමුණකින් පත්වූ ජනාධිපතිවරයකු හා අගමැතිවරයකු සිටි ආණ්ඩුවක එසේ වූයේ නම් හිටපු අගමැතිවරයාගේ හා ජනාධිපතිවරයාගේ නියෝජිතයන් නව අගමැතිවරයා හා ජනාධිපතිවරයා නියෝජනය කරමින් ඔවුන්ගේ දේශපාලන අභිලාෂයන්ට අනුව කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කළ හැක්කේ​ කෙසේද?

ව්‍යවස්ථාදායක සභාව හා ආණ්ඩුව අතර මෙවැනි කඹ ඇදිල්ලක් ඇති වුවහොත් සිදුවිය හැක්කේ කුමක්ද? ආණ්ඩුවේ කටයුතු ප්‍රමාද වීමය. එහි පාඩුව විඳීමට සිදුවන්නේ රටට හා ජනතාවටය.

හිටපු ජනාධිපති, අගමැති හා විපක්ෂ නායකවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට පත් කළ නියෝජිතයන් ඇත්තෙන්ම සුපිලිපන්, අපක්ෂපාතී, පක්ෂ දේශපාලනයෙන් තොර ප්‍රබුද්ධයන් දැයි තීරණය කළ හැකි වනු ඇත්තේ ඔවුන් මෙතෙක් එහි හිඳිමින් ගත් තීන්දු තීරණ අනුව නොව හෙට දවසේ ගන්නා තීරණ අනුවය.