brand logo

19න් අහිමි කළ බලතල යළි ජනපතිට දෙන්න

01 January 2020

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපතිවරයාට අහිමි කළ බලතල කිහිපයක් යළි පවරා දීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් දෙකක් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ඉදිරිපත් කර ඇත. විසි එක්වන සහ විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත් ලෙස මෙම පනත් කෙටුම්පත් දෙක ඉදිරිපත් කර තිබෙන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා ලෙසය. ඒ අනුව ජනාධිපතිවරයා ආරක්ෂක ඇමැති ධුරය දැරිය යුතුය. වෙනත් යම් අමාත්‍යාංශයක්ද ජනාධිපතිවරයා යටතේ පවත්වාගෙන යා හැකිය. දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නියෝජ්‍ය සහ කැබිනට් නොවන ඇමැති ධුර සංඛ්‍යාව හතළිහ නොඉක්මවිය යුතුය. නමුත් විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කරන විසි දෙවැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව නියෝජ්‍ය සහ කැබිනට් නොවන ඇමැතිවරුන් සංඛ්‍යාව තිහ නොඉක්මවිය යුතුය. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිසුරුවන් පත්කළ යුත්තේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය අනුවය. එහෙත් ඉදිරිපත් කර ඇති නව සංශෝධන අනුව ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් නොමැතිව ජනාධිපතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කළ හැකිය. ඒ සඳහා ජනාධිපතිවරයා අගවිනිසුරුවරයාගේ අදහස් විමසීම කළ යුතුයි. එමෙන්ම නව සංශෝධනයට අනුව නීතිපතිවරයා, විගණකාධිපති, පොලිස්පති, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරයා පත් කිරීමද ව්‍යවස්ථාදායක සභාවෙන් ඉවත් කෙරේ. එම පත් කිරීම් අගමැතිවරයාගෙන් විමසා ජනාධිපතිවරයා විසින් පත් කළ යුතුය. මීට අමතරව විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කර තිබෙන විසිඑක් වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව සෑම දේශපාලන පක්ෂයකටම අදාළ මැතිවරණ කොට්ඨාසය සඳහා මන්ත්‍රීවරයකු තෝරා ගැනීම සඳහා අවශ්‍ය විය යුතු වන්නේ මුළු ඡන්ද සංඛ්‍යාවෙන් අටෙන් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවකි. පවතින ව්‍යවස්ථාවට අනුව මුළු ඡන්ද සංඛ්‍යාවෙන් විස්සෙන් එකකට අඩු ඡන්ද සංඛ්‍යාවක් ලද සෑම දේශපාලන පක්ෂයකටම අදාළ මැතිවරණ කොට්ඨාසයට නියෝජිතයකු තෝරා ගැනීමට සුදුසුකම් නොලැබේ. විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් මෙම 21 වැනි සහ 22 වැනි ව්‍යවස්ථා සංශෝධන ඉදිරිපත් කර තිබෙන්නේ පසුගිය 27 වැනිදාය. අජිත් අලහකෝන්
 

More News..