කතුවැකි

භාණ්ඩ හිඟය අද නොවේ හෙට

රටේ ආහාර හිඟයක් පවතින බවට ලෝකයාට කියා ඇත්තේ ආණ්ඩුව විසින්ම බව විපක්ෂයේ මන්ත්‍රී කබීර් හෂීම් පවසා තිබේ. මේ නිසා ඉදිරියේදී සුද්දකු තබා කලවැද්දකුවත් ලංකාවට නොඑනු ඇතැයිද මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත. ඔහු මේ බව කියන්නේ ශ්‍රී ලංකාවේ ආහාර හිඟයක් ඇතිව තිබෙන බව ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සි හා මාධ්‍ය කිහිපයක්ම පසුගිය දිනවල වාර්තා කර තිබූ පුවතක් පදනම් කරගනිමිනි.

පෞද්ගලික වෙළෙඳුන් සහල් හා සීනි තොග සැඟවූ ගබඩා වැටලීම ඒ සඳහා හදිසි නීතිය පැනවීම, හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයකු පත්කිරීම පමණක් නොව මහජනතාව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා සතොස අලෙවිසල් ඉදිරිපිට පෝලිම් ගැසී සිටින ආකාරයද ජාත්‍යන්තර මාධ්‍ය එවැනි පුවතක් වාර්තා කිරීමට හේතු වී තිබේ.

රට තුළ මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන්නේ භාණ්ඩ හිඟයක් නිසාම නොව කළමනාකරණයේ දුර්වලතාවන් නිසා බව අපි මීට පෙරද පෙන්වා දී ඇත්තෙමු. ඒ අනුව භාණ්ඩ හිඟයක් පිළිබඳ ජාත්‍යන්තර මාධ්‍යයට පුවතක් නිර්මාණය කර දී ඇත්තේ ආණ්ඩුව විසින් බව කබීර් හෂීම් මන්ත්‍රීවරයා කරන ප්‍රකාශය නිවැරදිය. අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම අඛණ්ඩව සිදුවීම සහතික කිරීම සඳහා හදිසි නීතිය පැනවීමට සිදු වූයේද මෙම තත්ත්වය නිසා බව අපි ඊයේද මෙම තීරයෙන් පෙන්වා දුන්නෙමු.

ජනාධිපතිවරයා විසින් හදිසි නීතිය පනවා සතියක කාලයක් ගත වී ඇතත් තවමත් මෙම තත්ත්වයේ ලොකු වෙනසක් සිදු වී ඇති බවක් දක්නට නැත. අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා පාරිභෝගික සේවා අධිකාරිය සමග ගොස් සහල් හා සීනි තොග පිටින් සොයා ගන්නා පුවත් නාටකීය ස්වරූපයෙන් රූපවාහිනී ප්‍රවෘත්ති තුළින් විකාශය කෙරෙන නමුත් සතොස තවමත් සීනි නිකුත් කරන්නේ සලාක ක්‍රමයටය.

ආණ්ඩුව අලුතෙන්ම පැනවූ පාලන මිලට සහල් අලෙවි කෙරෙන නමුත් සම්බා වැනි සහල් වර්ගවල හිඟයක් තිබේ. මෙම සහල් මිලදී ගැනීම සඳහා සතොස ටෙන්ඩර් කැඳවා ඇතත් මහා පරිමාණ මෝල් හිමියන් කිසිවකුත් ඊට මිල ගණන් ඉදිරිපත් කර නැති බව අපි ඊයේ අපගේ ප්‍රධාන පුවතෙන් වාර්තා කළෙමු. මේ නිසා ඉදිරි දිනවලදීත් සම්බා හා කීරි සම්බා සහල් හිඟය නැති වී යනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතොස ටෙන්ඩරයට ඉල්ලුම් නොකරනවා පමණක් නොව දෛනිකව තම සහල් මෝල්වලින් නිකුත් කරන හාල් තොගද සීමා කොට ඇත. එපමණක් නොව ඔවුන් මේ වන විට තොග වෙළෙඳුන් සඳහා නිකුත් කර ඇති සහල් තොගද යළි තමන් වෙත ගෙන්වා ගැනීමේ මෙහෙයුමක යෙදී සිටින බව වාර්තා වී තිබේ. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ගනුදෙනු සඳහා විවෘත වන දින දෙක තුන තුළදී බොහෝමයක් සහල් අලෙවිසල් විවෘත වන්නේ නැත.

මෙම තත්ත්වය මත ඉදිරි දිනවල නම් ඇත්තෙන්ම සහල් හිඟයක් ඇතිවීමට ඉඩ තිබේ. වී හෝ සහල් තොග නැතිකම නිසා නොව සහල් මාෆියාව අවශ්‍ය තරම් තොග නිකුත් නොකිරීම නිසාය. පෞද්ගලික සහල් මාෆියාවේ මෙම අභියෝගය ජය ගන්නට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාට හෝ ආණ්ඩුවට වැඩපිළිවෙළක් තිබේදැයි අප දන්නේ නැත. අපට මෙම ප්‍රශ්නය මතුවන්නේ හදිසි නීතිය යටතේ සහල් හා සීනි තොග තමන් භාරයට ගෙන සතොස හරහා බෙදා හැරීමට පියවර ගන්නා බව කියා ඇතත් තවමත් එවැන්නක් සිදුවන බවක් දක්නට නොමැති නිසාය.

හෙට අනිද්දාට නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් වී රට මුළුමනින්ම විවෘත වූ පසු මෙම ප්‍රශ්නය තවත් උග්‍ර වනු ඇත. රටේ සියලුම වෙළෙඳසල් විවෘත වූ ඒ හැම දෙනාටම අවශ්‍ය තරම් මෙම භාණ්ඩ සැපයීමට සිදුවන නිසාය. ඒ අවස්ථාවේදීත් සීනි වැනි ද්‍රව්‍යයක් පාරිභෝගිකයාට නිකුත් කරන්නට සිදුවන්නේ සීමිත ප්‍රමාණයන්ගෙන් නම්, රටේ භාණ්ඩ හිඟයක් ඇතැයි පිළිගැනීමට අපට සිදුවනු ඇත.

සතොස මගින් දැනට එක් පාරිභෝගිකයකුට සීනි කිලෝග්‍රෑම් එකක් හෝ දෙක තුනක් පමණක් නිකුත් කරන්නේ ඒවා නීති විරෝධී මත්පැන් නිෂ්පාදනයට භාවිත කිරීම වළක්වා ගැනීමට යැයි කීම පිළිගත නොහැකි තර්කයකි. සීනි හිඟයක් ඇතත් රටේ නීති විරෝධී මත්පැන් හෙවත් කසිප්පු නිෂ්පාදනයේ අඩුවක් නැති නිසාය.

ආණ්ඩුවේ මෙම කළමනාකරණ දුර්වලතාව සහල්, සීනි වැනි භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් පමණක් නොව එළවළු, පළතුරු බෙදා හැරීම සම්බන්ධයෙන්ද පවතින්නකි. ආර්ථික මධ්‍යස්ථානවල විශාල එළවළු තොග ගොඩගැසීම, එක්කෝ එළවළු මිල නොසිතූ ලෙස අඩුවීම හෝ වැඩිවීම රට අගුළු දැමූ හැම අවස්ථාවකම ඇති වූ තත්ත්වයකි. නුවරඑළියේ පෙයාර්ස් අස්වැන්න මේ දිනවල ගවයන්ගේ ආහාරයක් වී ඇතැයි පසුගිය දිනෙකද වාර්තා විය.

රට වසා දැමුවත් – ඇඳිරි නීතිය පැනවූවත් වගා බිම්වල අස්වැන්න පැසීම නතර නොවන අතර ජනතාවගේ ආහාර වේල් ගණන අඩුවන්නේ ද නැත. එසේ නම් එළවළු, පලතුරු, ආර්ථික මධ්‍යස්ථානවල කුණු වන්නේ හෝ සතුන්ගේ ආහාර බවට පත්වන්නේ ඒවා බෙදාහැරීමට කිසියම් විධිමත් වැඩපිළිවෙළක් නොමැති නිසා නොවේද? එළවළු, පළතුරු වෙළෙඳාම මුළුමනින්ම පෞද්ගලික අංශය අත පවතින නමුත් මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ඔවුන්ට ඒ සඳහා පහසුකම් සලසා දිය යුත්තේ ආණ්ඩුවයි.

මේ නිශ්චිත මොහොතේ රට තුළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන්ගේ හිඟයක් නැති නමුත් ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නැතැයි කිව නොහැකිය. රටේ පවතින ඩොලර් හිඟය නිසා ආනයනකරුවන් මේ වන විට භාණ්ඩ ගෙන්වීම පිළිබඳ අර්බුදයකට මුහුණ පා සිටින නිසාය. මේ අවස්ථාවේ සීමිතව හෝ භාණ්ඩ ආනයනය කළද ඩොලරයේ අගයට අනුව ඒවාට මිල නියම කිරීම දුෂ්කරය. කිරිපිටි වැනි මිල පාලනයට යටත් භාණ්ඩ ගෙන්වීම ඔවුන් මේ වන විටත් අත්හිටුවා තිබේ. පවතින ඩොලර් මිල ගණන්වලට අනුව නියමිත මිලට අලෙවි කළ නොහැකි නිසාය. මේ අතර හදිසි නීතිය යටතේ භාණ්ඩ රාජසන්තක වීමේ අවදානම නිසා භාණ්ඩ ගෙන්වීමට ආනයනකරුවන්ට ඇති උනන්දුව හීන කර තිබේ.

රට තුළ භාණ්ඩ හිඟයක් ඇතිවීම වළක්වා ගැනීමට නම් මෙම තත්ත්වය කළමනාකරණය කර ගැනීම ආණ්ඩුව මුහුණ දෙන පළමු අභියෝගයයි. යම් හෙයකින් ඊට අසමත් වුවහොත් ඉන් පසු උදාවන තත්ත්වය කුමක් වනු ඇත්දැයි අවබෝධ කරගෙන ඊට සූදානම් වීමද ඒ තරමටම වැදගත්ය.