ගොසිප්

113ක් ඕනද?

බ්‍රහස්පතින්දා අගමැතිවරයා අරලියගහ මැදුරට පැමිණියේ වෙනදාට වඩා කනස්සල්ලෙනි.
‘‘අපි හදන ආණ්ඩුවට ජාතික ආණ්ඩුව කියල කියනවට වඩා ශක්තිමත් ආණ්ඩුවක් යැයි හැඳින්වීම වඩාත් නිවැරැදියි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවලා යෝජනාව සම්මත කරනවාට ඇතැම් පක්ෂ විරුද්ධ නම් අපි ස්ථාවර නියෝග අත්හිටුවන්නේ නැතුව දින 5ක් කල් දීලා සාමාන්‍ය ක්‍රමයට මේ යෝජනාව සම්මත කරමු” අගමැතිවරයා යෝජනා කළේය.

”මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕන නේද. ටී.එන්.ඒ. එකත් මෙතෙන්දි ටිකක් අදින හැඩයි. එයාලගෙ ශක්තිය අඩුවේවි කියල එයාලට පොඩි බයකුත් ඇති” මන්ත්‍රී චමින්ද විජේසිරි කීවේ එවැන්නකි.

‘‘මේ යෝජනාව සම්මත වෙන්න 113ක් ඕන නෑ. ඒ අවස්ථාවෙ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරය තිබුණාම ඇති. ජනාධිපතිත් කියන්නෙ හැමදේම දීර්ඝ ක්‍රමයට කරන්න කියලනෙ. ඒ නිසා අපි ඒ ක්‍රමයට ළඟදීම මේ යෝජනාව සම්මත කරගනිමු.” ලක්ෂ්මන් කිරිඇල්ල විස්තර කළේය.

‘‘ජාතික දින උත්සවයේදී හා බදාදා පාර්ලිමේන්තුවේදී ජනාධිපතිතුමා කරපු කතා ගැන මිනිස්සු විවිධ මත දරනවා. පෙබරවාරි 04දා විදේශ රාජ්‍ය නායකයෙක් වගේම තානාපතිවරු හා විදෙස් ජනමාධ්‍යත් ළඟ තියාගෙන පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහීමයි ජාතික ආණ්ඩුයි ගැන රටේ අභ්‍යන්තර ප්‍රශ්න කතාකිරීම පුදුම බවයි හුඟදෙනෙක් කියන්නෙ. මහින්ද රාජපක්ෂ මහත්තයටත් ගැහුවා. කතාවෙදි එයාගෙන් අවසර ගත්තෙත් නෑ. ජනාධිපතිතුමා මහින්ද මහත්තයට ගෝල්ෆෙස් එකේදි පාර්ලිමේන්තුවටත් වඩා සැර මිරිස්කුඩු ප්‍රහාරයකුයි දුන්නේ” හේෂා විතානගේ කීවේය.

‘‘බදාදා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේදී කතානායකට අගමැතිට හා විපක්ෂ නායකට ආපහු දොස් කිව්වා. මේකෙ කෙළවරක් නෑ. ජනාධිපති යටතේ තියන අමාත්‍යාංශවල වැය ශීර්ෂ සම්මත කරලා ජනපති වැය ශීර්ෂය අනුමත නොකර හිටියොත් මොකද වෙන්නෙ කියන මතය ආණ්ඩුවේ මැති ඇමතිවරු අතර සීඝ්‍රයෙන් වර්ධනය වීම එච්චර හොඳ දෙයක් නොවෙයි.” එජාප නීති නිලධාරියෙක් කීවේය.

‘‘නොයෙක් දෙනාට විවිධ අදහස් ඇති.ගැටුම් ඇතිකරන්න ඕන කෙනකුට ලේසියි. අපි කරන්න ඕන ගැටුම් සංසිඳවලා කොහොමද වැඩේ කරගන්නේ කියලා කල්පනා කරන එක. ඒ නිසා ජනාධිපතිතුමාගෙ වැය ශීර්ෂය කැපීම ගැන කතා කළ යුතු නෑ. හැබැයි සියල්ල අවුල් නොකිරීමේ ස්ථාවරයකට ජනාධිපතිතුමා ඉක්මනින් පැමිණීමත් අත්‍යවශ්‍යයි. අවුල් හදන්න කාටවත් අයිතියක් නෑ.” අගමැති මෙන්ම සභානායක කිරිඇල්ලගේද මතය එය විය.
”රට බංකොලොත් වෙන්නයි යන්නෙ කියල රවී ඇමතිතුමා කියපු කතාව ඔක්සිජන් නැතුව හිටපු විපක්ෂෙට ලොකු චාන්ස් එකක් වෙලා.” රංජිත් අලුවිහාරෙ කීවේ අගමැති දෙස බලාය.

”රවී ඕක කිව්වෙ ඔක්තෝබර් 26 ඉඳලා දින 52 ගැන වෙන්න ඕන. මොකද ඒ කාලෙ ඩොලර් බිලියනයකට වඩා අපේ විදේශ සංචිත ඒ ආණ්ඩුව දියකර හැරියා. ඒත් දැන් ඒ අඩුපාඩු නිවැරදි වෙලා ආර්ථිකය ඉක්මනින් හරි පාරට ආවා” අගමැතිවරයා පිළිතුරු දුන්නේය.

”රේගු අධ්‍යක්ෂක ජනරාල් මාරුකරන්න ගිහින් නැති ගැටලුවක් ඇතිකර ගත්තා. ගිය ආණ්ඩුව හිටියනම් ප්‍රශ්නය විසඳෙන්නෙ ඒ වෘත්තීය සමිතිවල අයගෙ ගෙවල්වලට සුදුවෑන් ගිහිල්ලයි. ඒත් කාගෙත් මතයට ඉඩදීල ප්‍රජාතන්ත්‍රවාදීව රිවස් එකට ගිහින් ප්‍රශ්නය බේරාගැනීම මේ ආණ්ඩුවේ හොඳ ලක්ෂණයක්.” නවීන් දිසානායක කීවේ එවැන්නකි.

”හොඳටම නාල ප්‍රජාතන්ත්‍රවාදීව ප්‍රශ්න විසඳනවට වඩා හොඳයිනෙ නාන්නෙ නැතුව හිටියනම්” අගමැතිවරයා කීවේ දැඩි සිනහවක්ද සමගිනි.