brand logo

10,000 බඩු මල්ලෙනුත් ගසා කාලා

13 November 2020

රුපියල් දස දහසක බඩු මල්ලක් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළට අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් බඩු මලු බෙදා දීමේදී සිදු වූ බව කියන දූෂණයක් සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම අත්‍යවශ්‍ය ආහාර මල්ල සඳහා අවශ්‍ය භාණ්ඩ ස.තො.ස මගින් ලබා ගැනීමට දැනුම් දී තිබූ නමුත් එසේ නොකොට සැපයුම්කරුවන්ගෙන් ලබාගෙන ඇති බව මූලික විමර්ශනයේ දී අනාවරණය වී ඇත. මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රගතිපුර ග්‍රාම නිලධාරී වසම හා බෝධිය පාරේ කොටසක් කොවිඩ් හේතුවෙන් වසා දමා තිබූ අතර පවුල් 1950කට මෙලෙස අත්‍යවශ්‍ය භාණ්ඩ මලු බෙදා හැරීමක් සිදු කර තිබේ. අවස්ථා තුනකදී භාණ්ඩ බෙදා හැර ඇති අතර එහි දී භාණ්ඩ මල්ල සමග බිල්පතක්ද ලබා දී ඇත. මෙහි දී එක් පවුලකට සහල් කිලෝග්‍රෑම් 25ක් ලබා දී ඇති අතර සැපයුම්කරුවන්ගෙන් ලබා ගෙන ඇති සහල් තොගය කිලෝග්‍රෑම් හතළිස් අටදහස් හත්සිය පනහකි. බිල්පතේ සහල් කිලෝග්‍රෑමයක මිල රුපියල් 100ක් ලෙස සඳහන් වුවද සහල් පාලන මිල රුපියල් 92ක් වෙයි. මේ ආකාරයට එළවළු වර්ගද අධික මිල ගණන්වලට ලබාගෙන ඇති බව වාර්තා වෙයි. මෙලෙස පාලන මිලද ඉක්මවමින් භාණ්ඩ රැසක් සහ තොග මිලද ඉක්මවමින් එළවළු මිලදී ගැනීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියටද පැමිණිල්ලක් ලැබී තිබේ. එම පැමිණිල්ලට අනුව අධිකාරියේ විමර්ශන නිලධාරීන් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඊයේ (12 වැනිදා) පස්වරුවේ පැමිණ විමර්ශනයක් ආරම්භ කර ඇත. උදයජීව ඒකනායක, තිස්ස රවින්ද්‍ර පෙරේරා
 

More News..