brand logo

‍කෙනෙහිලිකම් ඉදිරියේ ඉවසීමෙන් සිටිමු - ශ්‍රීලනිප කිසිවකුට යටත් වෙන්නෙ නැහැ

15 January 2020

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කිසිවකුට යටත් විය යුතු නැති බවත් යටත් වීමට ඉඩ නොතබන බවත් එම පක්ෂ මහලේකම්, කර්මාන්ත රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පැවසීය. මහලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ ඩාර්ලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ ඊයේ (14 වැනිදා) පැවති මාධ්‍ය හමුවේ දී ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලාංඡනය පිළිබඳව මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නකට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කරන විට ලාංඡනය පුටුව විය යුතු බවට එකඟතාවක් ඇති වුවත් ලාංඡනය පොහොට්ටුව විය යුතු බවට කවුරු හෝ ඉල්ලීමක් කරන්නේ නම් ඒ පිළිබඳ ගැටලුවක් නොමැති බවත් සන්ධානයේ ලාංඡනය පොහොට්ටුව වුවහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලාංඡනයක් සොයා ගැනීමට සිදු වන බවත් දයාසිරි ජයසේකර පැවසීය. ලාංඡනය සම්බන්ධයෙන් එතරම් දැඟලීමක් අවශ්‍ය නැතැයි ද ඒ පිළිබඳ ඉදිරියේ සාකච්ඡා කර තීරණයකට පැමිණිය හැකි යැයි ද හෙතෙම කියයි. සන්ධානයක් ලෙස එක්ව වැඩ කිරීම සඳහා ලාංඡනය ගැටලුවක් කර නොගන්නා අතර ඉදිරියේදී පැමිණිය හැකි විවිධ කෙනෙහිලිකම් ඉදිරියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකයන් ඉවසීමෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතු බව ඔහු අවධාරණය කරයි. නිලන්ත මදුරාවල
 

More News..