brand logo

‌දේව බලය පෙන්වන්න ගිය දීගොඩ දඟගෙට යයිද?

11 January 2020

දීගොඩ කුමාර පිළිබඳ මාධ්‍යයේ අවධානය යොමු වන්නේ හොරොව්පොතානේදී පසුගිය වසරේ සැප්තැම්බර් මස හත්වැනි දින ඔහු පැවැත්වූ රෝගීන් සුව කිරීමේ වැඩසටහනේදී රෝගීන් තිදෙනකු මියගිය පුවත පළ වීමත් සමගය. එම පුවතට ප්‍රතිචාර දැක්වීමට දීගොඩ කුමාර හෝ දෙව් සුව සේවා කණ්ඩායමේ කිසිවකුත් ඉදිරිපත් නොවූහ. ඒ වෙනුවට දීගොඩ කුමාරගේ අනුගාමිකයෝ අපට මුහුණ නොදී දුරකථන ඇමතුම් හරහා ඔහුගේ ගුණ වයන්නට පටන් ගත්හ. එලෙස කතා කෙරූ මාවරමණ්ඩිය, ඔබවත්ත පාරේ පදිංචි එම්. රණවීර නම් කාන්තාව කියා සිටියේ වෛද්‍යවරුන් තමාට බයිපාස් සැත්කමක් නිර්දේශ කොට තිබුණත් තමාගේ ශරීරයට අත තබා දීගොඩ කුමාර තමාගේ හෘද රෝගය සුව කළ බවයි. වෛද්‍ය වාර්තා අප කොළඹ නවලෝක ​රෝහලේ විශේෂඥ වෛද්‍ය මොහාන් රාජකරුණා වෙත දුන් පසු ඔහු ප්‍රකාශ කර සිටියේ මෙම රෝගී කාන්තාවට තමා කිසිදු දවසක බයිපාස් සැත්කමක් නිර්දේශ කොට නොමැති බවත් ඇන්ජියෝග්‍රැපි පරීක්ෂණයක් පමණක් නිර්දේශ කළ බවය. එසේ බලන විට සිදුවී තිබුණේ එම්. රණවීර නම් කාන්තාව රට පටලවා ගෙන තිබීම පමණි. දීගොඩ කුමාරගේ තවත් හාස්කමක් ලෙස අපට දැනගන්නට ලැබුණු උතුර දුම්රිය පොළ ආසන්නයේ නිවසක පදිංචි අවුරුදු දහ අටක ශිෂ්‍යයකුගේ හෘද රෝගයක් සුවපත් කිරීම ගැන ආරංචියක් ලැබිණි. එතැනට ගොස් වෛද්‍ය වාර්තා පිරික්සීමේදී අනාවරණය වූයේ ඒ දරුවාගේ කටින් කිහිප අවස්ථාවකදීම මට පුදුම සනීපයක් දැනෙනවා’’ කියා කියවීම දීගොඩගේ දෙව්සුව සේවා නඩය විසින් විකෘති කොට ඇති බවය. ඊළඟට දීගොඩගේ ‘‘වීරක්‍රියා’‘ පිළිබඳ වැඩිපුරම උදම් අනන හොරොව්පොතානේ දෙව් සුව සේවා වැඩසටහන සංවිධානය කෙරූ දායරත්න මුණ ගැසුණෙමු. දයාරත්නට අනුව දීගොඩ කුමාර තමා පදිංචිව සිටින ස්ථානයවත් හෙළිදරව් කිරීමට අකැමැති පුද්ගලයෙකි. හොරොව්පොතාන ගමේ දින දෙකක් පුරා දීගොඩගෙන් සුවය ලැබූවකු සොයා ගියද ඒ උත්සාහයත් ව්‍යර්ථ විය. මේ පිළිබඳ අරුණ පුවත්පත කරුණු අනාවරණය කරන අතරවාරයේදී පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවුරුදු දහහතක ශිෂ්‍යයකු දීගොඩ සරණ පැතීමට ගොස් දින තුනක් දැඩි සත්කාර ඒකකයේ සිට අනූනවයෙන් ජීවිතය බේරාගත් සිදුවීමක් අනාවරණය විය. 2018 වසරේ ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ පැවති දීගොඩ කුමාරගේ සුව මෙහෙයකදී මෙම ශිෂ්‍යයා එම මරණීය අත්දැකීමට මුහුණ දුන්නේය. කුඩා කාලයේ පටන් පාන්පිටි ආසාත්මිකතාවකින් පෙළුණ මෙම සිසුවා තමාට ඇති මෙම ශාරීරික අපහසුතාව සුව කර දෙනමෙන් දීගොඩගෙන් ඉල්ලා ඇත. දීගොඩ කුමාර සිසුවාගේ ශරීරයට අත තබා පාන්පිටි ආසාත්මිකතාව සුව කළ බව කියා ශිෂ්‍යයාට පාන් පෙති කිහිපයක් කවා ඇත. ඉන්පසු දරුවාට වූ රෝගී තත්ත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ මරණය විය හැකි මට්ටමේ රෝගී තත්ත්වයකට මෙම සිසුවා පත්වී ඇති බවයි. දරුවාගේ මව අප සමග ප්‍රකාශ කළේ මගේ පුතා ඉදිමිලා තිබුණ තරම දැක්ක ගමන් මාව කලන්තේ දාලා වැටුණා. ළමයා ඇඳන් හිටපු ඇඳුම් ගැලෙව්වෙ කතුරෙන් කපල’’ කියාය. පසුගිය වසරේ සැප්තැම්බර් 21, සැප්තැම්බර් 28, ඔක්තෝබර් 13 යන දිනයන්හි ඉරිදා අරුණ පුවත්පතේ දීගොඩ කුමාර යනු හුදු සම්ඵප්‍රලාප දොඩවන්නකු බව සාක්ෂි සහිතව ලියා තැබුවෙමු. ‘‘සුදු අම්මා’‘ නමින් අන්වර්ථ නාමයකින් තමාව හඳුන්වා ගන්නා දීගොඩ කුමාරගේ බිරිඳ තමාගේ සැමියා පිළිබඳ ඔහුගේ දෙව් සුව සේවා වැඩසටහන පිළිබඳ කතා කිරීමට අකැමැති බැව් අප සමග කීවාය. එහෙත් ඇය රෝගීන් ඉදිරියේ පෙනී සිටින්නේ දීගොඩ කුමාරගේ අග්‍ර ශ්‍රාවිකාව ලෙසය. තමාගේ youtube නාළිකාව හරහා කොපමණ වීඩියෝ පට නිකුත් කළද සුදු අම්මාගේ මුහුණ නොපෙන්වා සිටීමට දීගොඩ කුමාර වග බලා ගනී. ඊට අමතරව ලක්ෂ නවයක් පිරිසක් සුව කළ බව කියන දීගොඩ කුමාර කිසිදු අවස්ථාවක ඒ එකඳු රෝගියකුගේවත් අනන්‍යතාව හෙළි නොකරයි. තමා සුව කෙරූ ලක්ෂ නවයක පිරිසෙන් දස දහසකට එක අනුපාතයකට නව දෙනෙක් අපට මුණ ගස්වන මෙන් දීගොඩ කුමාරට අප දුන් අභියෝගයම තවමත් එසේමය. නමුත් අපට උත්තර දීම වෙනුවට තමාගේ youtube චැනලයේ ගල් පැලෙන බොරු කියමින් සිටින දීගොඩ කුමාරට දැන් නීතිය ඉදිරියේ අනිවාර්යයෙන්ම පිළිතුරු දීමට සිදුව ඇත. පසුගිය 08 වැනිදා කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතා දීගොඩ කුමාරව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළේය. ඒ දීගොඩගේ පාන් කා මැරෙන්න ගිය සිසුවාට සාධාරණයක් බලාපොරොත්තුවෙන් දීගොඩ කුමාරට විරුද්ධව පවරා ඇති බී.ආර්. 1981/18 නඩුව කැඳවූ අවස්ථාවේදීය. මෙම සිසුවාගේ දෙමව්පියන් සඳහන් කර සිටින්නේ මෙම සිදුවීමේ ආරම්භයේ පටන් පොලිසිය තමන්ට සාධාරණයක් කිරීමට අපොහොසත් වූ බයි. එය වඩාත් තහවුරු වන්නේ අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරියගේ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා පොලිසිය විසින් ගොනු කර තිබූ චෝදනාව වැරදි බවත් නිවැරදි වගන්තිය යටතේ එදිනම නැවත නඩු පවරන ලෙස පොලිසියට නියෝග කිරීමත් මගිනි. මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයට අනුව පොලිසිය දණ්ඩ නීති සංග්‍රහයේ 300 වැනි වගන්තිය ප්‍රකාරව මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව ගොනු කරන ලදී. අගතියට පත් පාර්ශ්වයේ නීති තර්කය අනුව දීගොඩ කුමාරව වහාම අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා මාර්තු එකොළොස්වන දිනට මීළඟට නඩුව කැඳවීමට දින දුන්නේය. දීගොඩ කුමාර වෙනුවෙන් දිවි හිමියෙන් පෙනී සිටින බවට කියූ සියලු දෙනාටම දැන් ඔහු වෙනුවෙන් ‘‘ඇත්තටම’’ පෙනී සිටී‍මේ අවස්ථාව උදාවී ඇත. ඒ වෙනුවෙන් මුලින්ම ඉදිරිපත් වීමට නීතිඥ ඩෙරික් සමරසේකර අවස්ථාව ලබාගනු ඇතැයි අපි විශ්වාස කරමු. මන්දයත් මෙසේ පාන් කවා මාරාන්තික ලෙස රෝගී බවට පත් කළ පාසල් ශිෂ්‍යයා ඇතුළු රෝගීන් ගැන අප ලියූ විට දීගොඩ කුමාරට ලෙඩුන් සුව කිරීමට හැකි බවට පැය ගණනක් විවාද කොට එය තහවුරු කර ගැනීමට කුහුඹු අණ්ඩක දෙයක් ඉදිරිපත් කිරීමට නොහැකි වූ එම නීතිඥ මහතා මෙම ලියුම්කරුට විරුද්ධව ලිපියක් පුවත්පතේ පාලනාධිකාරියට යවා ලියුම්කරුව සේවයෙන් පහකරන ලෙස ඉල්ලා සිටීමට තරම් කලබල වූ නිසාය.එම ලිපිය තමාගේ ලිපි ශීර්ෂයකින් එවූ නීතිඥවරයාට තමාගේ අත්සන යෙදීමට අමතක වී තිබීම පුදුම එලවන කරුණක් විය. මීට අමතරව දෙව් සුව සේවා විද්වත් කමිටුවේ සාමාජික කිත්සිරි රත්නටද අධිකරණයට පැමිණ සාක්ෂි දිය හැකිය. මන්දයත් ඔහු දෙව් සුව සේවා youtube වීඩියෝවල පෙනී සිටියත් අප ඔහුට සම්බන්ධ කරගත් මොහොතේ මගේ යාළුවෙක් කිව්ව නිසා විතරයි ගියේ. කියා ලිස්සා ගොස් අතුරුදන් වූ බැවිනි. මෙම සිදුවීම පිළිබඳ ගරු අධිකරණයේ අවධානය යොමු වීම ගැන පුරවැසියන් ලෙස අපි ඉතාමත් ඉහළින් ගරු අධිකරණය වෙත ගෞරවය පුද කර සිටිමු. විෂ්ණු දෙවියන් සහ කාලි මෑණි දෙදෙනා විසින් දුන් බලයක් අනුව මිනිසුන්ට වෘෂණ කෝෂ දුන් බව කියන වකුගඩු මවා දුන් බව කියන දීගොඩ කුමාර වෙනුවෙන් සාක්ෂිකරුවන් ලෙස කාලි මෑණි සහ විෂ්ණු දෙවියන් කැඳවීමේ ප්‍රතිපාදන නීති පොත්වල ඇත්දැයි සොයා බැලීම නීතිය පිළිබඳ උනන්දුවක් දක්වන සියලු දෙනාගේම වගකීමකි. මන්දයත් දීගොඩ කුමාරට එල්ල වී ඇති චෝදනාවට ඔහු වරදකරු වුවහොත් අවුරුදු දහය දක්වා කාලයකට බන්ධනාගාරගත කළ හැකි බව දණ්ඩ නීති සංග්‍රහයේ පැහැදිලිව දක්වා ඇති බැවිනි. කලණ වීරසිංහ
 

More News..