brand logo

​රොබෝවරුන්ගේ ඊළඟ ඉලක්කය දේශපාලනඥයන් ගෙදර යැවීමයි

17 February 2019

රොබෝ තාක්‍ෂණය යනු මේ කාලයේ ඉතා ජනප්‍රිය සහ වේගයෙන් ඉදිරියට යමින් ඇති තාක්‍ෂණයකි. විවිධ මාදිලිවල රොබෝවරුන් අලුතෙන් නිපදවෙමින් ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර මිනිසුන් ගේ කටයුතුවලට මේ රොබෝවරුන්ගෙන් ලැබෙන උදව්පදව් ද වැඩි වෙමින් පවතී. මහලු වැඩිහිටියන්ට සාත්තු කරන රොබෝවරුන්, රෝගීන්ට උපස්ථාන කරන රොබෝවරුන්, දරුවන් සමග සෙල්ලම් කරන රොබෝවරුන් වැනි අය මේ වනවිට දියුණු රටවල ජනප්‍රිය වෙමින් ඇති බව රහසක් නොවේ. පසුගිය දිනෙක ඩුබායිහි හි පොලිස් සේවය රොබෝ කොස්තාපල් කෙනෙකු පවා හඳුන්වා දීමට පියවර ගත්තේය. ඇතැම් රටවල පාසල්වල රොබෝ ගුරුවරුන් සේවයේ යෙදවීම සම්බන්ධයෙන් පවා අත්හදා බැලීම් සිදු කරන බැව් වාර්තා විය. නිවෙස්වලට භාණ්ඩ බෙදා හරින (delivery) සේවා සඳහා ද දැන් බොහෝ රටවල රොබෝවරුන් යොදා ගැනේ. ඉතා අපූරු ආකාරයෙන් පදික වේදිකා දිගේ ඇවිද යමින්, පරෙස්සමින් පාර මාරු වෙමින් මෙම රොබෝවරුන් ගමන් කරන අන්දම දැක්වෙන අපූරු වාර්තා වැඩසටහනක් පසුගිය දිනෙක විදෙස් රූපවාහිනි නාළිකාවක විකාශය විය. මේ වනවිට මිනිසුන් කරමින් සිටින රැකියා බොහොමයක් මේ ආකාරයෙන් රොබෝවරුන්ට භාර වෙමින් තිබීම නිසා මිනිසුන්ට රැකියා හිඟවීමේ තත්ත්වයක් ඇති වනු ඇත්ද යන්න ද මේ කාලයේ උණුසුම් ලෙස සංවාදයට ලක්වන කාරණයකි. බොහෝ දියුණු රටවල කර්මාන්ත ශාලාවල සේවය කරමින් සිටි මිනිස් කම්කරුවන් වෙනුවට මේ වනවිට සේවය කරන්නේ රොබෝ කම්කරුවන් ය. මිනිස් කම්කරුවන්ට මෙන් මොවුන්ට නිවාඩු අවශ්‍ය නොවීම, පැය 24ම වුව වැඩ කිරීමට හැකි වීම, වැටුප් ගෙවිය යුතු නොවීම, වෘත්තිය සමිති ප්‍රශ්න ඇති නොවීම වැනි වාසි රැසක් මේ නිසා හාම්පුතුන්ට හිමි වේ. රොබෝවරුන් නිපදවන සමාගම්වලින් වැඩිපුර බදු අයකර ඒ මුදල්වලින් රැකියා අහිමිවන කම්කරුවන්ට දීමනා ලබා දීම වැනි විසඳුම් ගැනද අවධානය යොමු වෙමින් තිබේ. රොබෝවරුන් සම්බන්ධයෙන් ළඟදී කියැවුණු කතාවකින් පැවසුණේ අනාගතයේ දී දේශපාලනය කිරීමට පවා රොබෝවරුන් ඉදිරිපත් වීමට ඉඩ ඇති බවයි. මෙයට මාස කිහිපයකට පෙර ජපානයේ පළාත් පාලන ආයතන මැතිවරණයක අපේක්‍ෂකයකු ලෙස රොබෝ කෙනෙකු ඉදිරිපත් වූ අවස්ථාවක් ගැනද වාර්තා විය. නමුත් මෙවැනි කටයුත්තක් පුළුල් පරිමාණයෙන් සාර්ථක වීමට නම් මිනිසුන්ගේ බුද්ධි මට්ටමට ආසන්න බුද්ධි මට්ටමකින් හෙබි රොබෝවරුන් බිහි විය යුතුව තිබේ. තවම එවැනි රොබෝවරුන් බිහි වී නැතත් විද්‍යාඥයින් අනාවැකි කියමින් සිටින්නේ තව වැඩිකල් නොගොස් එවන් සුපිරි- බුද්ධියකින් හෙබි රොබෝවරුන් ද බිහි වනු ඇති බවටයි. තව දශකයක් දෙකක් ඇතුළත මෙම කඩඉම පසුකිරීමට රොබෝවරුන්ට හැකි වනු ඇති බවට අනාවැකි පළවෙයි. එවිට මිනිසුන් ගන්නා ඕනෑම ආකාරයක තීරණයක් ගැනීමට රොබෝවරුන්ට හැකි වනු ඇති අතර මිනිසුන්ටත් වඩා කාර්යක්‍ෂම ආකාරයෙන් ද, විවිධ වංචා දූෂණවලින් තොරව ද ඒවා ක්‍රියාත්මක කිරීමට ඔවුන් සමත් වනු ඇති බවට විශ්වාසය පලවෙයි. මේ අනුව ‘රොබෝ හිතවාදී’ විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ දේශපාලනඥයින් ලෙස රොබෝවරුන් කටයුතු කිරීමට පටන් ගතහොත් ලෝකයේ ප්‍රශ්න මෙයට වඩා අඩු කර ගැනීමට හැකි වනු ඇති බවයි. මේ ආකාරයේ සුපිරි බුද්ධියකින් හෙබි රොබෝවරුන් බිහි වීමත් සමග ඔවුන් වෙනම අනන්‍යතාවක් සහිත සත්ව කොට්ඨාශයක් ලෙස ස්වාධීනත්වයක් අත්පත් කර ගැනීමට පටන් ගනු ඇති බවට ද අදහස් පලවෙයි. ඒ අනුව ඡන්ද අයිතිය වැනි සිවිල් අයිතිවාසිකම් පවා ඔවුන්ට හිමි කර දීමට සිදුවනු ඇති බව ඇතැමුන්ගේ විශ්වාසයයි. සොෆියා නමින් හැඳින්වුණු රොබෝවරියකට පසුගිය දිනෙක සෞදි අරාබියේ පුරවැසිකම ලබා දීම ද මෙම ක්‍රියාදාමයෙහි අවස්ථාවක් ලෙස සැලකිය හැකි ය. සමහර විට තව දශක කිහිපයකින් ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය දීමට රොබෝවරුන්ද පෝලිමේ සිටිනු දැකිය හැකි වීමට ඉඩ තිබේ! භාණ්ඩ අතර අන්තර්ජාලය (Internet of Things) යනුවෙන් හැඳින්වෙන තාක්‍ෂණයක් මේ වනවිට තිබේ. එය සුහුරු මෙවලම් (smart devices) මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව ඔවුනොවුන් අතර සන්නිවේදන කටයුතු සිදු කරගන්නා තාක්‍ෂණයකි. මෙම තාක්‍ෂණය හරහා රොබෝවරු ද ඔවුනොවුන් අතර සන්නිවේදන කාර්යයන් සිදු කර ගනිති. සුපිරි බුද්ධිමත් රොබෝවරුන් බිහි වූ දිනෙක ඔවුන් මෙවැනි තාක්‍ෂණික ක්‍රමවේද ඔස්සේ සන්නිවේදනයෙහි යෙදෙමින් තමුන්ගේම වූ සංවිධානය ආදිය බිහි කරගනු ඇති බවට ද අදහස් පලවෙයි. මේ හරහා මිනිසුන්ට එරෙහිව සංවිධානය වීමටත්, මිනිසුන්ට එරෙහිව නැගී සිටීමටත්, මිනිසුන් යටත් කර ගැනීමටත් රොබෝවරුන් සමත් වන දිනයක් එළැඹෙනු ඇත් ද යන්න සාකච්ඡාවට ලක් වන තවත් වැදගත් කාරණයකි. ලොව කීර්තිමත් ම විද්‍යාඥයෙකු වූ ස්ටීවන් හෝකින් පවා මෙවැනි අනතුරක් ඇති විය හැකි බව විශ්වාස කළේය. ඉදිරි දිනෙක කෘත්‍රිම බුද්ධි (artificial intelligence) තාක්‍ෂණය දියුණු වීමත් සමග මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරවම තමුන්ගේ බුද්ධි මට්ටම තමුන්ටම දියුණු කර ගත හැකි ස්වාධීන රොබෝවරුන් බිහිවිය හැකි බව ඔහුගේ අදහස විය. එම නිසා මෙවැනි තාක්‍ෂණයන් පිළිබඳ පර් යේෂණ සිදු කිරීමේදී බෙහෙවින් පරෙස්සම් විය යුතු බවත්, ආචාර ධාර්මික සීමාවන් ඇති කරගත යුතු බවත් බොහෝ විද්‍යාඥයින්ගේ අදහස වී තිබේ. රොබෝවරුන් සහ මිනිසුන් අතර ඉතා සමීප සම්බන්ධතා ගොඩනැගෙන තත්ත්වයක් ඉතා නුදුරේදීම ඇති වනු ඇතැයි යන්න මේ වනවිට අවධානයට හසුවන තවත් කාරණයකි. සමහර විට මිනිසුන් සහ රොබෝවරුන් අතර විවාහයන්, පෙම් සබඳතා ආදිය පවා ඇති වන තත්ත්වයක් මතු විය හැකි බව විශ්වාස කෙරේ. ලිංගික ශ්‍රමිකයින් ලෙස රොබෝවරියන් සේවය කරන ආයතන ඇතැම් රටවල දැනටමත් ක්‍රියාත්මක වෙයි. මෙවැනි රොබෝ ලිංගික ශ්‍රමිකයින්ට එරෙහිව මිනිස් ලිංගික ශ්‍රමිකයින් විරෝධතා දැක් වූ අවස්ථාවක් ගැන ද පසුගිය දිනවල ඇමෙරිකාවෙන් වාර්තා විය. ඔවුන්ගේ එක් තර්කයක් වූයේ මෙබඳු රොබෝ ලිංගික ශ්‍රමිකයින් නිසා මිනිස් ලිංගික ශ්‍රමිකයින් හුදෙක් ලිංගික භාණ්ඩ ලෙස සැලකීමේ ප්‍රවණතා වඩාත් දරුණු වනු ඇති බවයි. මෙම රොබෝවරියන් සම්බන්ධයෙන් ගත් විට යම් ලිංගික ක්‍රියාවකට ඇයගේ කැමැත්ත අකැමැත්ත පිළිබඳ කාරණයට වැදගත්කමක් හිමි නොවන නිසා එය ලිංගික ශ්‍රමිකයින්ට අමානුෂික ආකාරයෙන් සැලකීමට දිරි දෙන ප්‍රවණතාවක් වර්ධනය කරනු ඇති බව ඔවුහු පෙන්වා දෙති. එමෙන්ම මෙම රොබෝ රූමතියන්ට ගණුදෙනුකරුවන් වැඩි කැමැත්තක් දැක්වීමට ගියහොත් ඒ නිසා සිය වෘත්තියට අභියෝගයක් එල්ල වනු ඇතැයි යන බිය ද ඔවුන් තුළ පවතින බව පෙනේ. කෙසේ හෝ වේවා, මේ සියල්ල තුළින් පැහැදිලිවම පෙනී යන්නේ තව දශක කිහිපයක් ගත වන විට රොබෝවරුන් විසින් මිනිස් සමාජයට කරනු ලබන බලපෑම සිතාගත නොහැකි තරමින් ඉහළ යනු ඇති බවයි. මෙහිදී පැන නගින තීරණාත්මක ප්‍රශ්නයක් වන්නේ මිනිස් සමාජය කවරාකාරයෙන් එයට හැඩ ගැසෙනු ඇත්ද යන්නයි. සමහර විට අපට වඩා දියුණු සත්ව කොට්ඨාශයක් සමග මහපොළොව බෙදා හදා ගැනීමට සිදුවන තත්ත්වයක් පවා ඇති වීමට ඉඩ තිබේ. නිහාල් පීරිස්
 

More News..