brand logo

​දොස්තර හීනයට වඩා නාසා හීනය ලොකුයි

04 January 2020

උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වී දැන් සතියක් ගෙවී ඇත්තේය. සමහරු විභාගය සමත් වී සරසවියට තේරී පත්වන විට තවත් පිරිසක් විභාගය අසමත් වී දුකින් සිටිති. විභාගය අසමත්ව දුකට පත් වූ ඇතැමුන් සියදිවි නසාගත් අවස්ථාද මින් පෙර අසන්නට ලැබුණි. තවත් අය විභාගය අසමත් වීම ගැන කල්පනා කර මානසික රෝගීන් බවට පත් වූ උදාහරණද ඇත්තේය. එහෙත් මේ උසස් පෙළ දෙවරක් ලියා දෙවාරේම මහ ඉහළින් සමත් වූ සිසුවකු පිළිබඳ අපූර්ව කතාවකි. එමගින් ඔහු, ඔබ අපට කියා දෙන්නේ උත්සාහවන්තයා සියල්ල ජයගනී යන පාඩමය. සවීන් වීරනායක මෙවර උසස් පෙළ ප්‍රතිඵලවලින් මතු වූ තරුවකි. ඔහු ගණිත අංශයෙන් ’ඒ’ සාමාර්ථ තුනක් ලබා ගාල්ල දිස්ත්‍රික්කයෙන් එකොළොස් වැනියා බවට පත්ව සිටින්නේය. එමෙන්ම දිවයිනෙන්ම ගණිත අංශයෙන් දෙසිය දහඅට වැනියාද ඔහුය. සවීන් තරුවක් කළේ මේ ප්‍රතිඵලය නොවේ. ඔහු ඊට පෙර වසරෙහි එනම් 2018 දී ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ ලියූවෙකි. එයින් විශිෂ්ට ලෙස සමත්ව වෛද්‍ය විද්‍යාලයට පිවිසියෙකි. සවීන් ගණිත අංශයෙන් පෞද්ගලික අපේක්ෂකයකු ලෙස උසස් පෙළට ඉදිරිපත් වූයේ වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබන අතරතුරේය. සවීන් තරුවක් වන්නේ එක් වර්ෂයක ජීව විද්‍යා අංශයෙන් විශිෂ්ට ප්‍රතිඵල ලබා ඊට පසු වසරේ ගණිත අංශයෙන්ද විශිෂ්ට ප්‍රතිඵල ලැබූ දක්ෂයකු වන බැවිනි. ඔහු පාසල් ගියේ ගාල්ල රිච්මන්ඩ් විදුහලටය. රිච්මන්ඩ් සිසුවකු ලෙස ගිය වසරේ උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉගෙන ගෙන මහ ඉහළින් විභාගය සමත් වූ ඔහු දැන් සිටින්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුවකු ලෙස අධ්‍යාපනය ලබමිනි. වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය ලබන අතරේ සවීන් යළි ගණිත අංශයෙන් උසස් පෙළ හැදෑරූයේ එක් සිහිනයක් හැබෑ කර ගැනීමේ අරමුණ පෙරදැරිවය. ‘‘නාසා’ එම සිහිනයයි. ‘නාසා ආයතනයට එක් වෙන්න විෂය ක්ෂේත්‍ර දෙකකින් උසස් පෙළ ඉහළින් සමත්වෙලා ඉන්න එක හොඳයි කියලා මට දැනගන්න ලැබුණා. ඉතිං මම කාලය කළමනාකරණය කරගෙන ආසාවෙන් ආයෙත් උසස් පෙළ කළා.’’ ඔහු පවසන ආකාරයට ඔහුට නාසා සිහිනය ඇති වූයේ පුංචි සන්ධියේමය. ඊට පසු ඔහු නාසා ආයතනයේ සේවයට එක්වීමට ඇති මාර්ග පිළිබඳ සොයා බලන්නට වූයේය. ගණිත සහ විද්‍යා යන අංශ දෙකෙන්ම උසස් පෙළ කිරීම එයට පිටිවහලක් බව ඔහුට එහිදී දැනගන්නට ලැබිණි. ඉස්කෝලේ නමය, දහය පන්තිවලට එන විටත් සවීන් හිතමින් සිටියේ උසස් පෙළට එක්වරකදී ජීව විද්‍යා අංශයෙන් ඉදිරිපත් වී ඊළඟ වාරයේ ගණිත අංශයෙන් ඉදිරිපත්වන හැටි ගැනය. සාමාන්‍ය පෙළ පන්තියේ අන්තිම භාගයට එන විට ඔහු ස්ථිර තීරණයක් ගත්තේය. එනම් උසස් පෙළට ජීව විද්‍යා සහ ගණිත යන දෙඅංශයෙන්ම ඉදිරිපත් වීමටය. සවීන් මුලින් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරන්න හිතුවේ හේතුවක් ඇතිවය. ‘‘ජීව විද්‍යාව විෂය වැඩිපුර පාඩම් කරන්න වෙන නිසයි මුලින්ම කළේ. ගණිතය එහෙම නෙවෙයි.සිද්ධාන්ත ටික ඉගෙන ගත්තහම ඒවා භාවිතයෙන් ප්‍රශ්නවලට උත්තර ලියන්න පුළුවන්. ජීව විද්‍යාව මුලින් කළහම අවුරුදු දෙකක් තියෙනවා. ගණිතය දෙවැනි පාර කරද්දී අවුරුද්දෙන් ගොඩදාගන්න පුළුවන් කියන විශ්වාසය මට තිබුණා. සවීන් ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට ඉදිරිපත් වූයේ 2018 වර්ෂයේදීය. ’ඒ’ සාමාර්ථ තුනක් සහිතව ඔහු එයින් සමත් වූයේ ගාල්ල දිස්ත්‍රික්කයේ තිස්හය වැනියා බවට පත් වෙමිනි. දිවයිනෙන්ම තුන්සිය තුන්වැනියා වෙමිනි. ඒ ප්‍රතිඵලය ඔහුව ගෙනාවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙතය. සවීන්ගේ නිවුන් සොයුරා සඳුන් වීරනායක 2018 වර්ෂයේදී උසස් පෙළ කළේ ගණිත අංශයෙනි. ඔහු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. විෂයයන් තුනටම ‘ඒ’ සාමාර්ථ ලබා ගනිමින් සඳුන් උසස් පෙළ සමත් වූයේ දිස්ත්‍රික්කයේ අසූ අටවැනියා බවට පත්වෙමිනි. ඔහුගේ ප්‍රතිඵලය, ඔහුව ගෙනැවිත් තැබුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයටය. සවීන් ගණිත අංශයෙන් උසස් පෙළට සූදානම් වන විට සඳුන්ගෙන් ලැබුණේ විශාල සහායකි. සඳුන් ගණිත විෂය දැනුම තම සහෝදරයාට දුන්නේය. සවීන්ද ගැටලු මතුවන විට පිහිට පැතුවේ සඳුන්ගෙනි. ඊට අමතරව සවීන් ගණිතය පුනරීක්ෂණ පන්තියකටද ගියේය. එහි සිද්ධාන්තද ඉගැන්වූ බව සවීන් කියයි. එම ටියුෂන් පන්තියද ඔහුගේ ප්‍රතිඵලයට රුකුලක් විය. නිවුන්නු සරසවියට එක්කරගෙන ආවේ පවුලේ හැමෝම එක්කය. තාත්තා එච්. එස්. වීරනායකය. අම්මා නිලන්ති සමන්ලතාය. නැගණිය චතුරි වීරනායකය. සවීනුත්, සඳුනුත් විශ්වවිද්‍යාලයට බඳවා ගත්තේ එකම දිනකය.ඊට පෙරදා හැමෝම ගියේ පේරාදෙණියටය. තාත්තාගේ මිතුරකුගේ නිවසේ නැවතී පසුදා සොයුරෝ විශ්වවිද්‍යාලයට ඇරලූහ. සවීන්ගේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ ඔහුට කිසි දිනක ෆේස්බුක් ගිණුමක් තිබී නොමැති වීමය. සමාජ ජාලා මාධ්‍යයක කියා ඔහු ඉන්නේ වට්ස්ඇප් හි පමණි. ‘‘ෆේස්බුක්වලට නාස්ති කරන්න කාලය මට නැහැ. ඕකට ගියොත් වෙන්නෙ අනුන්ගේ ඕපාදූප හොය හොයා ඉන්න. මගේ හීනය සැබෑ කරගන්න වැඩ කරන්න ඒ කාලය වෙන් කරගන්න එක ඊට වඩා වටිනවා.’’ සවීන්ගේ නාසා හීනයට මග කියන්නේ එහි සේවය කරන ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකි. එම මහාචාර්යවරයාත්, රිච්මන්ඩ් ආදි ශිෂ්‍යයෙකි. තම පූර්වගාමියාගේ මග යන්නට දකින සිහිනය සැබෑ කරගන්නට සවීන් මේ දිනවල ඉන්නේ පූර්ව සූදානම් කටයුතු කරමිනි. වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ වීමට කලින් සවීන්ට නාසා ආයතනය සමග එක්වීමට අවස්ථාව ලැබුණහොත් ඔහුට සිදුවන්නේ වෛද්‍ය හීනය අත්හරින්නටය. ඒ ගැන ඔහුට දුකක් නැත. ‘‘දොස්තර හීනයට වඩා මට මගේ නාසා හීනය ලොකුයි. ජීවිතේ සමහර දේවල් සමහර අවස්ථාවල කැප කරන්න වෙනවා. මේකත් එහෙම දෙයක්. වෛද්‍ය විද්‍යාලෙ අධ්‍යාපනය අවසන් වෙන්න කලින් නාසා යන්න අවස්ථාව ලැබුණොත් මම දෙපාරක් හිතන්නේ නැහැ මම යනවා. යම් විදියකින් මට නාසා යන්න බැරි වුණොත් ඒ ගැන දුකකුත් නැහැ. එහෙම වුණොත් මම වෛද්‍යවරයෙක්. ඒ ඔස්සේ යා හැකි ඉහළම දුරකට මම යනවා.’’ කාලයක් යනතුරු අමතක නොවන මතක ලෝකයට ඉතිරි කර යන්නේ වෙනස්ව හිතන සහ වෙනස් අරමුණු වෙනුවෙන් වැඩකරන මිනිසුන්ය. සවීන් එවැන්නෙකි. ඊටත් වඩා ඔහු උසස් පෙළ ළමුන්ට දෙන්නේ අපූරු පණිවුඩයකි. ඒ ජීවිතය අතනොහැරීමේ පාඩමය. තමන්ගේ ඉලක්කයට යාමේ පාඩමය. ඒ පාඩම් විශ්වවිද්‍යාලයට යාමට උගන්වන පාඩම්වලට වඩා බොහෝ වටින්නේය. ජීවිතයේදී අපට වැඩියෙන් ඕනෑ වනු ඇත්තේ නොපසුබට උත්සාහය කියා දුන් සවීන්ගේ පාඩමය. හසිත කුරුප්පු
 

More News..