brand logo

​දේව බලය ඇති දීගොඩ දෑතට මාංචු වැටේ

25 January 2020

කාලි මෑණි සහ විෂ්ණු දෙවියන්ගෙන් ලද බලයකින් තමාට මේ ලෝකේ සිටින ඕනෑම රෝගියකු සුවපත් කිරීමට හැකි බව කියූ දීගොඩ කුමාර දැන් සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය. කැස්බෑව මහෙස්ත්‍රාත් රුචිර වැලිවත්ත ඉකුත් බ්‍රහස්පතින්දා (23දා) දුන් නියෝගයකට අනුවය. එම නියෝගයට හේතු වූ පසුබිම් කතාව මෙසේය. 2018 ඔක්තෝබර් මස 17 වැනි දින පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ දීගොඩ කුමාර ලෙඩ සුව කිරීමේ මෙහෙයක් පැවැත්වූවේය. එම මෙහෙයේදී දීගොඩ කුමාර එම පාසලේ උසස් පෙළ ශිෂ්‍යයකුට පාන් කැවීමෙන් පසු එම ශිෂ්‍යයා රෝගාතුර වී කළුබෝවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි. තමාට පාන් පිටි කෑමෙන් පසුව දරුණු අසාත්මිකතාවක් ඇති බව පැවසූ මෙම ශිෂ්‍යයාගේ හිසට අත තබා එම රෝගී තත්ත්වය සුවපත් කළ බව කියා ඇති දීගොඩ කුමාර, ශිෂ්‍යයාට පාන් කවා ඇත. දරුවාගේ රෝගී තත්ත්වය කොතරම් උත්සන්න වීද යත් දරුවාගේ මව කියා ඇත්තේ ‘‘අපේ පුතා ඉදිමිලා තිබ්බ විදිය දැක්කම මට කලන්තේ දැම්මා. පුතාගේ යුනිෆෝම් ගැලෙව්වේ කපලා’’ කියාය. 2018 වසරේ වූ මෙම සිදුවීම පිළිබඳව 2019 සැප්තැම්බර් 29 වැනි දින ‘අරුණ’ පුවත්පතේ සවිස්තරාත්මක ලිපියක් පළවන තෙක් මේ සිද්ධිය ගැන පොලිසිය සිටියේ අහක බලාගෙනය. මෙම වසරේ ජනවාරි මස 08 වැනි දින නඩුව කැඳවූ පළමු අවස්ථාවේදීම මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙපමණ කල් මෙම සිදුවීම පිළිබඳ පොලිසියේ අවධානය යොමු නොවීම ප්‍රශ්න සහගත බවත්, මූලික පරීක්ෂණවත් නිසි ආකාරව සිදු කර නොමැති බැවින් දීගොඩ කුමාරව වහාම අත්අඩංගුවට ගන්නා ලෙසය. එම නියෝගයට සති දෙකක් ඉක්මවූ පසුගිය 23 වැනි දින ද‍ීගොඩ කුමාර මෝසමක් ඉදිරිපත් කරමින් අපේක්ෂිත ඇප ඉල්ලා සිටියේය. ඔහු වෙනුවෙන් ජනාධිපති නීතිඥ නවරත්න බණ්ඩාර, නීතිඥ අනුර හෑගොඩ, නීතිඥ ඩෙරික් සමරසේකර ඇතුළු නීතිඥවරුන් හත්දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ඉදිරිපත් විය. අධිකරණයට කරුණු දක්වමින් දීගොඩ කුමාර වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ තම සේවාදායකයාට විරුද්ධව නගා ඇති දණ්ඩනීති සංග්‍රහයේ 300 වැනි වගන්තියේ ඇති මිනී මැරීමට තැත් කිරී‍මේ චෝදනාව වැරදි බවයි. අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිරූපා සේරසිංහ සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ තරංගමාලා ගමගේ අධිකරණයට ප්‍රකාශ කර සිටියේ එම ශිෂ්‍යයා තමාට පාන් පිටි ආහාරයට ගැනීම මගින් අසාත්මිකතා ඇතිවන බව ඉතා පැහැදිලිව කියා තිබියදී දැනුවත් භාවයෙන් ශිෂ්‍යයාට පාන් පිටි කැවීම හිතාමතා කළ ක්‍රියාවක් බවයි. දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ශිෂ්‍යයාට පාන් දීමට දීගොඩ කුමාර අනුබල දී ඇති නිසාත්, ඉදිරියට මෙවැනි දේ සිදුවීමේ අවදානමක් ඇති නිසාත් ලබන 31 වැනිදා දක්වා දීගොඩ කුමාරව රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළේය. මෙම නඩුවේ එදින තීන්දුව දෙනවාත් සමගම දීගොඩ කුමාර සිහිසුන්ව ඇද වැටුණි. විශ්ව ශක්තියෙන් ලොවම සුවපත් කළ හැකි බව කියන දීගොඩ කුමාරව ප්‍රතිකාර සඳහා රෝහල්ගත කරන ලෙස ඔහුගේ නීතිඥයන් කළ ඉල්ලීම දීගොඩ මෙතෙක් කළ රඟපෑම්වල අවසානය සනිටුහන් කරන්නක් සේ විය. එමෙන්ම මෙතෙක් කලක් අධිකරණය මගහැර සිටියේ තමාගේ මව ජනවාරි මස 02 වැනි දින සිට 16 වැනිදා දක්වා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි නිසා ඇයට උපස්ථාන කිරීමට වූ නිසා බවත්, 18 වැනිදා ඇය මියගිය බවත් දීගොඩ කුමාර තම නීතිඥයන් මගින් අධිකරණයට කියා සිටියේය. දේව බලයෙන් ලෙඩුන් සුවපත් කරන බව කියන දීගොඩ කුමාර තම මව සුවපත් කිරීමට භාරදී ඇත්තේ පුද්ගලික රෝහලක වෛද්‍යවරුන්ටය. ඔහුගේ දේව බලයෙන් රෝග සුව කර ගැනීමට එන මිනිසුන්ට වඩා දීගොඩ කුමාර ප්‍රඥාවන්ත බව මේ අනුව අපට පෙනේ. කලණ වීරසිංහ
 

More News..