brand logo

​කොළඹදී මැරුණොත් මල්ශාලාව නොමිලේ

25 November 2019

මීට වසර කීපයකට ඉහතදී මගීන් ගිය බසයක අසුනක මළ සිරුරක් ගෙන ගිය පුවතක් පොළොන්නරුවෙන් අසන්නට ලැබුණි. මුහුණ වසා උණ රෝගියකු මෙන් මළ සිරුර රැගෙන ගියද පොළොන්නරුව බස් නැවතුමේදී එය දුටු බස් රථ සේවකයන් මළ සිරුර රැගෙන ගිය පුද්ගලයාට පහරදීමට උත්සාහ කර තිබුණි. එහිදී ඔහු පවසා තිබුණේ හර්ස් එකක තම දරුවාගේ මිනිය ගමට රැගෙන යන්නට වත්කමක් නැති බැවින් ආගමික වතාවත් පවත්වා ගමේ ඉඩමේ පුතා භූමදානය කිරීමට රෙද්දකින් පොරවා ඔහු ගෙන ආ බවය. ඒ කතාව අසා කම්පා වූ බස් හා ත්‍රිරෝද රථ රියැදුරෝ ඒ තාත්තාට මුදල් එකතු කර දී ත්‍රිරෝද රියකින් ගමට දේහය රැගෙන යාමට උපකාර කර තිබුණි. මේ දරුවා මියගොස් තිබුණේ කොළඹ ජාතික රෝහලේදීය. ඛේදවාචකය මේ කතාවම නොවේ. දුරබැහැර ගමක දුප්පත් ලෙඩෙකු කොළඹ ජාතික රෝහලේදී මියගිය විට ඥාතීන්ට සිද්ධ වන්නේ ආගමික වතාවත්වලින් තොරව කාත් කවුරුවත් නොහඳුනන සොහොන් බිමක රජයේ වියදමින් අවසන් කටයුතු කරන්නට දේහය බාර දීමටය. ඒ කොළඹ සිට තම ගමට මෘත දේහය ගෙන යාමට වත්කමක් නැති බැවිනි. පිටගම්වල ඇත්තෝ පමණක් නොව කොළඹ පැල්පත්වල සිටින ඇතැමුන්ටද සිය පවුලේ අයකු මියගිය විට මුහුණ දෙන ප්‍රශ්නය වන්නේ මෘත දේහය තැන්පත් කිරීමට ස්ථානයක් නැතිකමය. ඔවුන් පදිංචි වතු නිවාසවලට මෘත දේහය රැගෙන යාමට පාරක්වත් නැත. නමුත් ඕනෑම පුද්ගලයකුට ගෞරවනීය උපතක් සේම ගෞරවනීය අවසානයක්ද හිමිවීම ලෝකය පිළිගත් සිරිතකි. යුද්ධයකදී සතුරකුගේ මළ සිරුරක් තමන් හට පත් වූ විට එය තෙවැනි පාර්ශ්වයක් මගින් සතුරන් අතට භාර දෙන්නේ සතුරාටත් එම ධර්මතාව පොදු බැවිනි. එහෙත් කොළඹදී මිය පරලොව යන දුප්පතුන්ට යුද බිමේදී සතුරාගේ මළ සිරුරට ලැබෙන අවසන් ගෞරවයත් ලැබෙන්නේ නැත. මේ කාරණාව හොඳටම දුටු අයකු වන්නේ බොරැල්ලේ එෆ්.ආර්. සේනානායක අනුස්මරණ ආරාමයේ වැඩ සිටින තෙල්වත්තේ නන්දතිස්ස හාමුදුරුවන්ය. සේනානායක ආරාමය ඇත්තේ බොරැල්ල කනත්තටත් කාසල් වීදියේ කාන්තා රෝහලටත් මැදිවය. උන්වහන්සේ වැඩ සිටින පන්සල එෆ්.ආර්. සේනානායක ආරාමය ලෙස හඳුන්වන්නේ ඒ බිම සේනානායක පරපුරට අයත් බැවිනි. එෆ්.ආර්. සේනානායක වූ කලී ඩී.එස්. සේනානායකගේ වැඩිමහලු සොයුරුය. ඔහු විවාහ වූයේ පිළියන්දල කොළමුන්න වලව්වේ ‘‘මිනිරන් රජ්ජුරුවෝ’’ යැයි ප්‍රසිද්ධියක් ඉසිලූ ඩී.සී.ජී. ආටිගල මුදලිතුමාගේ බාල දියණිය ඇලන් සමගය. පසුකලක පෙරළිකාර දේශපාලනඥයකු වූ හිටපු වෙළෙඳ ඇමැති ආර්.ජී. සේනානායක එම යුවළගේ පුතුය. තෙල්වත්තේ නන්දතිස්ස හාමුදුරුවන්ට බොරැල්ලේ මේ ඉඩම පූජා කරන්නේ ආර්.ජී.ගේ ප්‍රිය බිරිඳ වන එරින් සුබසිංහ සේනානායකය. තෙල්වත්තේ නන්දතිස්ස හාමුදුරුවෝ එකල වැඩ සිටියේ ගාල්ල, දඩල්ලේ ශ්‍රී ශෛලමධ්‍යාරාමයේය. එරින් සේනානායක ගාල්ලේ සංචාරයකට ගිය අවස්ථාවේ ගමේ අයකු විසින් උන්වහන්සේ කළ වීර වික්‍රමයක් පිළිබඳව ඇය සමග පවසා තිබුණි. ඒ නිසාම උන්වහන්සේ හමුවී කතා බහ කිරීම අගනේ යැයි ඇයට සිතුණි. එනම් 2004 දී සුනාමි අවස්ථාවේ මිනිසුන් කිහිප දෙනකු බේරා ගැනීමට මුහුදට පැනපු පුවත මේ අතර විශේෂ සිද්ධිය විය. එයින් පැහැදුනු ඇලන් සේනානායක උන්වහන්සේ ගැන තව තවත් කරුණු සෙවීමට පෙලඹුණි. එහිදී ඇයට දැන ගැනීමට ලැබුණේ උන්වහන්සේ විසින් ලක්ෂ පහළොවක් වටිනා තම මෝටර් රථය විකුණා අසරණ ගැබිනි මවක් වෙනුවෙන් නිවසක් සාදා දුන් පුවතකි. එමෙන්ම ගැබිනි කත පන්සලට ගෙන්වා දරුවා ලැබෙනතෙක් ඇප උපස්ථාන කර තිබුණේ ද උන්වහන්සේය. එදා ගැබිනිය වෙනුවෙන් තම මෝටර් රථය පරිත්‍යාග කර උන්වහන්සේ අද ගමන් බිමන් යන්නේ බසයෙනි. නමුත්, මේ ක්‍රියාව නිසා උන්වහන්සේට බොහෝ දෙනාගේ පැසසුමට නොව ගැරහුමට ලක්වීමට සිදුවිය. නමුත්, බුදුන්ටත් ගල් පෙරළුවා නම් අපි කවුරුද? යනුවෙන් සිතා තව තවත් ගැබිනි මව්වරුන්ට ඇප උපස්ථාන කිරීමට උන්වහන්සේ පෙලඹුණි. මේ තරම් විශාල කැප කිරීමක් කරන තෙල්වත්තේ නන්ද තිස්ස හිමියන්ගේ මේ වැඩකටයුතු ඉදිරියට ගෙන යාම සඳහා ශක්තියක් වීමට ඇය සිතුවාය. එහි පළමු පියවරක් ලෙස තම පරම්පරාවට අයත් දේපළක් වන බොරැල්ලේ, කිතුල්වත්ත පටුමගේ පිහිටි ඉඩම සඟ සතු කිරීමට ඕ පෙලඹුණි. සේනානායක පරපුරෙන් හිමි වූ ආරාමය දැන් ලංකාවේ මෙතෙක් කිසිදු ආගමික සිද්ධස්ථානයක නොකළ වැඩකට දොරවල් ඇර තිබේ. ඒ බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා මුස්ලිම් යන සියලු ආගමිකයන්ගේ අවමංගල්‍ය උත්සව නොමිලේ පැවැත්වීමට අවමංගල්‍ය ශාලාවක් ගොඩනැගීමෙනි. ‘‘මම හැමතිස්සේම කල්පනා කරන්නේ ‘‘සබ්බේ සත්තා - භවන්තු සුඛි තත්තා’’ එනම් සියලු සත්ත්වයන්ටම සුගතියක් ලැබේවා කියලා. ඒ ගාථාවේ ජාතියක්, ආගමක් හෝ කුලයක් බෙදීමක් වෙන්කිරීමක් කරන්නේ නෑ. බුදුන්ගේ දර්ශනයේ කියන්නේ එහෙමයි. එනිසයි මම හිතුවේ අපි ඔක්කොම මනුෂ්‍යයෝ ජාති, ආගම්වලින් තොරව මිනිසුන්ට පිහිට වෙන්න ඕනේ කියලා. ‘‘මට මේ වගේ දෙයක් කරන්න හිතුණේ අද වෙනකොට මිනියක් එම්බාම් කරන තැනේ ඉඳලා ඒක දවස් දෙකක් තියාගන්න වියදම් වෙන​ නොසෑහෙන ගාන දැකලයි. අනික මේ බොරැල්ල අවට ඕනෑතරම් පන්සල් තියෙනවා. ඒවාට ඕනෑ තරම් මිනිස්සුත් එනවා. ඒත් මනුස්සයෙක් මැරුණොත් ඒක පිං පිණිස කරලා දෙන තැනක් මේ අහලකවත් නැහැ. අනික මේ අවට රෝහල් බොහෝමයක් තියෙනවා. මේවට දුර බැහැර ඉඳල ලෙඩ්ඩු එනවා. අන්තිමට එයාලා මැරුණට පස්සේ ගමට ගෙනියන එකට පවා ලොකු වියදමක් යනවා.’’ උන්වහන්සේ වදාළේය. බොරැල්ලේ සේනානායක ආරාමයේ ඉඩ ලැබෙන්නේ මෘත දේහය තැන්පත් කර ආගමික වතාවත් කිරීමට පමණක් නොවේ. අවමංගල්‍ය කටයුතු නොමිලේ කරදීම මෙන්ම එහි සිටින පවුලේ හිතවතුන්ට මෙන්ම අනෙකුත් අයටත් නවාතැන් පහසුකම් සේම ආහාර සපයන්නේද විහාරස්ථානයෙන්ය. ‘‘අපි අවමංගල්‍ය කටයුතු විතරක් නෙවෙයි කරන්නේ. අවමංගල්‍යයට දුරබැහැර ඉඳලා එන ඥාතීන්ට අවමංගල්‍ය කටයුතු අවසන් වන තුරු නේවාසිකව රැඳී සිටීමටත්, එසේ රැඳී සිටින කාලය තුළ උදේ, දවල්, රාත්‍රී ආහාරපාන හා තේ, සිසිල් පැන් ආදිය කෝකියකු ලවා පිළියෙල කරලා දෙනවා. මේ කිසිම දෙයකට එක රුපියලක්වත් අපි ගන්නේ නෑ. සියල්ලම නොමිලේ කරන්නේ. ‘‘පන්සල කියන්නේ රැස් කරන තැනක් නෙමේ අස් කරන තැනක්.’’ උන්වහන්සේ වදාළේ මසුරං වටින කතාවකි. උන්වහන්සේ මේ කරන සද්කාර්යයේ වටිනාකම දැනෙන්නේ කොළඹදී මිනියක් එම්බාම් කර දින තුනක් මිනිය තබා ගන්නට මල්ශාලා අය කරන මුදල ගැන සොයා බලන විටය. කොළඹ ප්‍රසිද්ධ මල් ශාලාවක දවස් දෙකකට පමණක් අය කරන මුදල වන්නේ රුපියල් ලක්ෂ දෙකකි. ඒ මුදල අය කරන්නේත් කෑමබීම නොමැතිවය. එමෙන්ම රාත්‍රි දහයට පමණ මල් ශාලාව වසයි. යළි අරින්නේ උදේ අටටය. ඒ නිසා නිවසක මෙන් රාත්‍රිය පහන් වනතුරු අවමංගල්‍යයට සෙනඟ එන්නේ නැත. නමුත් එෆ්.ආර්. සේනානායක අනුස්මරණ ආරාමයේදී නම් එසේ නෙවේ. අවසන් කටයුතු කරන දිනය වන තෙක්ම විවිධ වැඩසටහන් ඔවුන් විසින් සංවිධානය කර තිබේ. ඒ අතර මහා පිරිත් දේශනා, මරණානුස්සති භාවනා වැඩිම, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ දේශනා වැනි බෞද්ධාගමික වත් පිළිවෙත් බොහෝමයක් මෙහිදී සිදු කරයි. ඒත්. තවමත් මේ ආරාමයේ සාදා නිමකොට ඇත්තේ පළමු මහල පමණි. ඒ සඳහා පමණක් උන්වහන්සේට රුපියල් කෝටි දෙකක මුදලක් වැයවී තිබේ. මේ මුදල පවා තමන් වහන්සේ සොයා ගත්තේ තමන්ගේ ගුරුවැටුප හා ඉඩකඩම් විකිණීමෙන් බව උන්වහන්සේ කියයි. නමුත්, විවිධ ආයතනවලින් උන්වහන්සේට විටින් විට උදව් උපකාර ලබා දී තිබුණි. ඒත්, අද සිව්වන මහල තෙක් ඉදිකිරීම් කටයුතු කිරීමට උන්වහන්සේට මිල මුදල් නොමැත. ඒ නිසාම දැන් උන්වහන්සේ පින් සිත් කැමැති සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටින්නේ මේ ගොඩනැගිල්ල සාදා නිම කිරීමට සහයෝගය දක්වන ලෙසයි. තෙල්වත්තේ නන්දතිස්ස හාමුදුරුවන් ජාති, ආගම්, කුල, මල, භේද නොසලකා කරන මේ සද් කාර්යය ගැන ලියන විට අපට සිහිපත් වූයේ මුලතිව් ගුරුකන්දේ පන්සලේ නායක ස්වාමීන් වහන්සේගේ ආදාහන කටයුතු කිරීමට උසාවි යන්නට බෞද්ධයන්ට සිද්ධ වූ කතාවය. එදා උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය කරන්නට ජාතිවාදය කරපින්නාගත් දෙමළ ජාතිකයන් පිරිසක් බාධා කළද තෙල්වත්තේ හාමුදුරුවෝ මේ පෙන්වන්නේ භික්ෂූන් වහන්සේ සියලු ජාතීන්ට දක්වන කරුණාව හා දයාවය. හර්ෂණී දිසානායක ඡායාරූප - ඒෂාන් දසනායක
 

More News..