brand logo

​කොවිඩ් නිසා වැටුණු ව්‍යාපාර නැංවීමට රුපියල් කෝටි දස දහසක්

21 September 2020

  කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ක්ෂේත්‍රය මෙරට ආර්ථිකයේ කොඳුනාරටිය වී ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ ඊයේ (20දා) පැවසීය. අගමැතිවරයා මෙම අදහස් පළකර සිටියේ, හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මේලන මධ්‍යස්ථානයේ පැවති “කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන සම්මන්ත්‍රණය - 2020” සඳහා එක්වෙමිනි. කොවිඩ්-19 බලපෑමට ලක් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා රජයක් ලෙස පසුගිය කෙටි කාලය තුළ සහනදායී ණය පොලී අනුපාත හඳුන්වා දෙමින් කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සහ ණය ඇපකර සපුරාදීමට හැකි වූ බව ද අගමැති මහින්ද රාජපක්ෂ මෙහිදී අවධාරණය කළේය. මෙම අවස්ථාවේදී කොවිඩ් - 19 කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය යෝජනාවලිය සහතිකලත් කළමනාකාර ගණකාධිකාරී ආයතනයේ සභාපති හා කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුවේ සම්බන්ධීකාරක මහාචාර්ය ලක්ෂ්මන් ආර්. වටවල විසින් අගමැතිවරයා වෙත භාර දෙන ලදී. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් වෙනුවෙන් ණය ඇපකර ආයතනයක් පිහිටුවීම, ආදායම් බදු සහන ලබාදීම, කම්කරු නීති සංශෝධනය සහ අපනයනය සඳහා අවශ්‍ය ආයතනයක් පිහිටුවීම යනාදී කරුණු මෙම යෝජනාවලියට ඇතුළත් ය. මෙම අවස්ථාවේදී සිය අදහස් දක්වමින් අගමැති මහින්ද රාජපක්ෂ මෙසේද කීය. මේ ශාලාවේ මෙවැනි සම්මන්ත්‍රණයක් පවත්වන්න හැකිවීම පිළිබඳව ප්‍රථමයෙන් සතුටු වෙනවා. පසුගිය වසර පහේ මේ සම්මන්ත්‍රණ ශාලාවේ වී ගබඩා කළේ නැති නිසා, අද ඔබට එය පාවිච්චි කරන්න හැකියාව ලැබිලා තියෙනවා. වෘත්තීය ආයතන, වාණිජ මණ්ඩල, වාණිජ බැංකු සහ කර්මාන්ත පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත මෙම ආයතනයේ, කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක සංවර්ධන කමිටුව පිහිටුවීම, ඉතා කාලෝචිත ක්‍රියාවක්. එය, ඇත්ත වශයෙන්ම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට කරනු ලබන වැදගත් සේවාවක්. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටියයි. එය, අප රටෙහි සෑම අංශයක්ම නියෝජනය වීම සතුටක්. අපගේ දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 52 ක් සඳහා එම අංශය දායක වෙනවා. සමස්ත රැකියාවන්ගෙන් සියට 45 ක් ඊට අයත්. එසේම, එම අංශය, දිවයිනේ මුළු ව්‍යවසායක සංඛ්‍යාවෙන් සියට 75 කින් සමන්විතයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි බැංකු නවයක ගනුදෙනුකරුවන් 300 ක් පමණ මෙම වැදගත් සම්මන්ත්‍රණය සඳහා එක්වීම මම ඉතා අගය කරනවා. “නව ආර්ථිකය තුළ මුදල් කළමනාකරණය, බැංකු අරමුදල් සැපයීම සහ ව්‍යවසායක නායකත්වය සම්බන්ධයෙන් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය අද මුහුණපාන අභියෝගවලට මුහුණදීම පිණිස විසඳුම්” යන තේමාවෙන් මෙම සම්මන්ත්‍රණය පැවැත්වීම ඉතාම කාලෝචිතයි. මුදල් අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ සහයෝගය ඇතිව, කොවිඩ්-19 මගින් බලපෑමට ලක් වූ ව්‍යාපාර නගා සිටුවීම සඳහා රුපියල් බිලියන 100 ක මුදලක් ප්‍රදානයක් කිරීමට හැකිවීම, සතුටට කරුණක්. අපි පසුගිය කෙටි කාලය තුළ ණය සඳහා සහනදායී පොලී අනුපාත හදුන්වා දෙමින්, කාරක ප්‍රාග්ධන අවශ්‍යතා, ණය ඇපකර ලබාදීම ඔස්සේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් නැවත නගාසිටුවීමට අවශ්‍ය පියවර ගත්තා. මෙම සම්මන්ත්‍රණයේදී, විධිමත් මුදල් කළමනාකරණය, ව්‍යාපාර දියුණුකිරීම පිණිස අරමුදල් නිසිපරිදි භාවිත කිරීම, පුහුණු කිරීම් සහ කුසලතා වර්ධනය දේශීය සහ අපනයන අලෙවිකරණය සහ කම්කරු කටයුතු බඳු වැදගත් ක්ෂේත්‍රයන් ආවරණය වන බව පැහැදිලියි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායයන් මගින් කෙරෙන අපනයනවල ගෝලීය ප්‍රතිශතයේ සාමාන්‍යය සියයට 30 ක්. නමුත්, ලංකාව සම්බන්ධයෙන් එම ප්‍රතිශතය සියයට 5 ක්. එය වැඩිකිරීම සඳහා රජයක් ලෙස අප සහයෝගය දක්වන බව මේ අවස්ථාවේ ප්‍රකාශ කිරීමට කැමතියි. කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය නිෂ්පාදන අපනයනය කිරීම සම්බන්ධයෙන් අපනයන නිවසක් පිහිටුවීම පිළිබඳව මම එම කමිටුවට සුබ පතනවා. ශ්‍රී ලංකාවට වටිනා විදේශ විනිමය ලබාගැනීමට අදාළ මෙම කාර්යය සඳහා දිරිගැන්වීම රජයක් ලෙස අපි වගකීමෙන් ඉටු කරනවා. එසේම, හම්බන්තොට වැනි ඉතා දුෂ්කර ප්‍රදේශවල කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් පිළිබඳව අපි නිරන්තරයෙන් අවධානය යොමු කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ණය ඇපකර ආයතනයක් පිහිටුවීම සම්බන්ධයෙන් මෙම කමිටුවේ නිර්දේශ පරිදි කර්මාන්ත ඇමැතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය පිළිබඳව ද මම සතුටු වෙනවා. වත්කම් හිඟකම නිසා අලුතින් පිහිටුවන සමපාර්ශ්විය ඇපකරුවන් ඉදිරිපත් කළ නොහැකි කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වෙනුවෙන්, විදේශීය මුදල් ලබාදෙන ආයතනවල සහාය ලබාගෙන මෙම ආයතනය පිහිටුවීම සඳහා මාගේ සහාය ලබා දෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායක අංශය සංවර්ධනය කිරීම පිණිස බැංකු අංශයට ද සුභ පැතීමට අපි කැමැතියි. අද දිනෙන් අරඹනු ලබන මේ සම්මන්ත්‍රණය, අනෙකුත් දිස්ත්‍රික්ක වලත් පැවැත්වීමට හැකිවනු ඇතැයි මම විශ්වාස කරනවා. මෙමගින් කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා සහ ශ්‍රී ලාංකික ආර්ථිකය සඳහා ද ප්‍රතිලාභ ලැබෙන බව විශ්වාසයි. මේ ආයෝජකයන් නැගී එන බවට බැංකු සාක්ෂි දරනවා. බැංකුවලින් තමන් විසින් ගන්නා ලද ණය මුදල් වාරික නිසි කලට ගෙවීමෙන් බැංකු අංශයේ ණය හානිවීම් අඩු වෙනවා. එමගින් බැංකු ගනු දෙනු කරන සියලු පාර්ශ්වයන්ට තව තවත් ණය ලබාදීමට හැකියි. මේ අතර සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ගල්කිස්ස වෙරළ තීරයේදී පැවති අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියේ සමාරම්භය අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (19දා) ඇරුඹිණි. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා වැඩසටහනට සමගාමීව වෙරළ හා සාගර සම්පත් සුරැකීමේ සතිය සංකේතවත් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ ප්‍රධානත්වයෙන් ”නිකසළ සයුරක්- පිරිසුදු වෙරළක්” යන කාලෝචිත තේමාව යටතේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන ශ්‍රී ලංකාවක් තුළ ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා වැඩසටහන මෙසේ ආරම්භ වුණි. මෙහිදී ජගත් සාගර දිනයට සමඟාමීව පැවති පෝස්ටර් චිත්‍ර තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියක් සඳහා අගමැති මහින්ද රාජපක්ෂ අතින් ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කිරීමද, සමුද්‍ර පරිසර සංරක්ෂණය සඳහා කැප වූ ආයතන ඇගයීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට සමරු තිළිණයක් ප්‍රදානය කිරීමද අගමැතිවරයා විසින් සිදු කළේය. අන්තර්ජාතික වෙරළ පවිත්‍රතා දිනය සහ ජාතික සමුද්‍ර සම්පත් සුරැකීමේ සතියට සමගාමීව මුද්‍රණය කළ ”නිකසළ සයුරක්- පිරිසිදු වෙරළක්” යන සමරු ග්‍රන්ථය සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති, නීතිඥ දර්ශනී ලහඳපුර විසින් අගමැතිවරයා වෙත පිළිගන්වන ලදී. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය, සංචාරක අමාත්‍යංශය, ශ්‍රී ලංකා නාවික හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව යන ආයතන හා එක්ව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ වෙරළ තීරය ආවරණය වන පරිදි වෙරළ පවිත්‍රතා වැඩසටහන් මාලාවක් මෙම සතිය පුරා සංවිධානය කර ඇති අතර ඒ යටතේ දිවයින වටා තෝරාගත් වෙරළ තීරයන්වල වෙරළ පවිත්‍රතා වැඩසටහන් 70ක් පමණ සිදු කිරීමට නියමිතය.
 

More News..