brand logo

ෆොනී දිවයිනට ආසන්නයේ

29 April 2019

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් පවතින ෆොනී සුළි කුණාටුව ඊයේ රාත්‍රී 11.30 ට පමණ මඩකළපුව සිට නැගෙනහිර දෙසට කිලොමීටර් 580 ක් පමණ දුරින් ස්ථානගත වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ, මෙම පද්ධතිය ඉදිරි පැය 12 තුළදී චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වනු ඇති බවට අනුමාන කරන බවයි. අනතුරුව සුළි කුණාටුව මැයි මස 01 වන දින දක්වා නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වයඹ දෙසට ගමන් කර ඉන්පසුව ක්‍රමයෙන් නැවත හැරී ඊසාන දෙසට ගමන් කරනු ඇති බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුමාන කරයි. එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ මේ පිළිබඳ අවධානය යොමු කර ධීවර හා නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ වයඹ පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේ සමහර ස්ථානවලට මි.මී.150 ට වැඩි ඉතා තද වර්ෂාපතනයන්ද සෙසු පළාත්වල මි.මී. 100 ක පමණ තද වර්ෂාපතනයන් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එමෙන්ම මෙම සුළි කුණාටුවේ බලපෑමෙන් ඉදිරි දින කිහිපයේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 

More News..