brand logo

මෙතන තියා ඒක අපේ ගෙදර මැණිකෙටවත් කියන්නෙ නෑ

06 May 2019

‘‘බුර්කාවට අගමැතිතුමයි ඇමැති මංගලයි විරුද්ධ වුණා කියල සමහර ජනමාධ්‍ය කිව්වා... ඒත් බුර්කාව තහනම් කරන්න එපා කියපු මහින්ද රාජපක්ෂගෙ කතාවට නං ප්‍රසිද්ධ මාධ්‍ය ඉඩ දුන්නෙ නෑ වගේ... ඒ වුණාට මහින්ද ෆේස්බුක් එකේ නං හොඳට නානවා...’’ චමින්ද විජේසිරි කීවේ සිනාමැදය. ‘‘මම කිව්වෙ බුර්කාව තහනම් කරන්න කලින් මුස්ලිම් පූජක ප්‍රජාව දැනුවත් කරන්න කියල විතරයි... දෙමළ කාන්තාවෝ සාරිය ඔළුව උඩින් දාල කන වහනවා... නුවරඑළියේ හරි සිරීපාදෙ හරි යනකොටයි අපේ කාන්තාවොත් කන් වහන් යනව මම දැකල තියනවා... කනෙයි මූණෙයි කැලැල් තියන කට්ට්ටියත් මූණ වහන් යනවා ඇති...’’ අගමැතිවරයා කී විට සියල්ලන්ටම සිනා පහළ විය. ‘‘නායකතුමා සරත් ෆොන්සේකට නීතිය හා සාමය ඇමැතිකම දෙනවද?’’ හේෂා විතානගේ අගමැතිවරයාගෙන් ඇසුවේ මේ අතරය. ‘‘අපි ඒ ගැන ජනාධිපතිත් එක්ක කතා කළා... කිරිඇල්ල ඇමැතිතුමාගෙන්ම විස්තරය අහන්නකො...’’ යැයි කී අගමැතිවරයා කිරිඇල්ල දෙස බැලීය. ‘‘පෙරේදා රෑ අපි පස්දෙනෙක් ගිහින් ෆොන්සේකට ඇමතිකම දෙන්න ඕනෑ කියල ඉල්ලුවා... මේක රටේත් මතය... ඔහුට ඒ තනතුර දුන්නොත් ජනතාව අතර ආරක්ෂාව ගැන ලොකු විශ්වාසයක් ඇතිවෙනවා කියලත් මම කිව්වා... මලික් ඇමැතිතුමත් එතෙනදි පොඩ්ඩක් කතා කළා... ඒත් වෙනකවුරුවත් කතා කළේ නෑ... පස්දෙනෙක් ගිහිල්ලත් ඒකට බෙල්ල දුන්නෙත් මමයි... ඒත් ඒක කරන්න බෑ කියන එකයි ඒ පැත්තෙන් කියවුණේ...’’ ලක්ෂ්මන් කිරිඇල්ල පැහැදිලි කළේය. ‘‘ෆොන්සේකට මේක දෙන්න බැරි නම් ඒකට හේතුව හැටියට මොකක්ද ජනාධිපතිතුමා කිව්වේ...?’’ නවීන් දිසානායක විමසුවේ කිරිඇල්ලගෙනි. ‘‘එයා හොඳ උත්තරයක් දුන්නා... හැබැයි ඒක නම් මම මෙතන තියා ඒක අපේ ගෙදර මැණිකෙටවත් කියන්නෙ නෑ...’’ යි කියමින් කිරිඇල්ල කොක්හඬලා සිනාසුනේය.
 

More News..