brand logo

ෆොටෝ එකක් ගත් පමණින් එයාලා පෙම්වතියො වෙන්නෙ නෑ

08 February 2021

පිය උරුමය, ප්‍රතිභාව හා යොවුන් පෞරුෂයෙහි අපූරු සංකලනයක් වන ගයාන් ගුණවර්ධන වර්තමානයෙහි ආදරය යන මාතෘකාව ඉදිරියෙහි කතාබහට ලක්වූ චරිතයයි. පෙම් ගී ගයමින් පෙම් චරිත රඟපාමන් පෙම්වතුන්ගේ ලෝකයෙහි සිහින කුමාරයා වූ ගයාන් ගුණවර්ධන ආදරය ගැන අපත් සමග බෙදා ගත්තා... කොවිඩ් නිසා අක්‍රිය ව ඇති එළිමහන් ප්‍රසංග කලාවට විකල්පයක් හඳුන්වා දුන් බව ආරංචි වුණා... පවතින වාතාවරණය තුළ එළිමහන් ප්‍රසංග නොපැවැත්වීම නිසා ආදායම් මාර්ගයක් නැතිව සිටින සියලුම කලා ශිල්පීන්ට සහනයක වීමයි මෙහි අරමුණ. මම මනෝජ් වල්පොල හා දමින්ද තිලකරත්න යන සහෝදරයන් දෙදෙනා සමග එක්වෙලයි මෙම අදහස ක්‍රියාත්මක කළේ. මේක ස්ටූඩියෝ එකක් ඇතුළෙ පැවැත්වෙන ප්‍රසංගයක් ඩිජිටල් මාධ්‍යයෙන් එළි දැක්වීමයි සිදුවෙන්නේ. මේ ප්‍රසංගය යූටියුබ්, ෆේස්බුක් හරහා රසිකයන්ට රස විඳින්න හැකියාව තියෙනවා. අපි මේ ප්‍රසංගය නම් කරලා තියෙන්නේ nuga tv digital band show කියලයි. ‘ඔබ වෙනුවෙන්’ අලුත්ම ගීතයට ලැබුණ ප්‍රතිචාර කොහොමද? ඔබ වෙනුවෙන් සංගීතය හා පද නිර්මාණය වූයේ අශාන් ප්‍රනානදු හා කසුන් සත්සර පතිරණ විසිනුයි. මෙම ගීතය මේ වනවිට අන්තර්ජාලයෙන් ලක්ෂ 20 ක් පමණ නරඹලා තියෙනවා. ලංකාවේ ගුවන්විදුලි හා රූපවාහිනි නාළිකාවල ජනප්‍රිය ගීත තෝරන චාට් ෂෝවල අංක එකේ ගීතය බවට පත්වෙලා තියෙනවා. විවාහ මංගල උත්සවවලට ෆ්‍රී ෂූට්වල නැතිවම බැරි ගීතයක් වෙලා තියෙනවා. ටික් ටොක් කියන සෝෂල් මීඩියා එකේ ආදරවන්තයන්ගේ ටික් ටොක්වල මේ ගීතය හරිම ජනප්‍රියයි. විදෙස රටවල්වල රසික රසිකාවියන්, පුංචි දරුවන් පවා ගායනා කරන වීඩියෝ මට එවනවා. මගේ ගීත අතරින් අද වනවිට ජනප්‍රියම ගීතය වෙලා තියෙන්නේ ඔබ වෙනුවෙන් ගීතයයි. ගයාන්ගෙ මීළඟ ගීතයත් ආදරය වෙනුවෙන්මද... එක ගීතයක් නෙවෙයි, මේ වනවිට ගීත නිර්මාණ කිහිපයකටම එකතුවෙලා ඉන්නේ. පෙබරවාරිවලට කලින් මගේ ගීතය එළිදැක්වෙයි. 2021 වසරේ ගීත කලාව පැත්තෙන් වැඩි යමක් කරන්නයි මගේ අදහස. ඒ කියන්නේ රඟපෑමයි, නිවේදනයයි අඩු කරනවද? මේ වනවිට ස්වර්ණවාහිනියේ කාවින්ද්‍යා අධිකාරි සමග මියුසික් ස්පොට් සංගීත වැඩසටහනෙහි නිවේදනය කරනවා. ටෙලි නාට්‍යවලට ගොඩක් ඇරයුම් ලැබෙනවා. ටෙලි නාට්‍ය නම් තෝරලා බේරලා භාරගන්නේ. මේ දිනවල විකාශය වන අසංවර වැස්සක්හි මිතුන්ගේ චරිතය ඒ විදිහට භාරගත්ත සුවිශේෂි වැඩක් කියලා කියන්න පුළුවන්. මේක පරිසරය හා සම්බන්ධ කතාවක්. ගස්වැල් සතාසීපාවා විනාශ කරමින් මිනිසුන් යන ගමනේදි අනාගතයේ දවසක වතුර බොන්න වෙන්නේ ගමට එන බවුසරයෙන් කියන ඇඟ හිරිගඩු නංවන පණිවුඩයයි ජනතාවට පවසන්නේ. ඉක්මනින් ජනප්‍රිය විය හැකි පෙම්වතාගේ චරිතයට ඉස්තරම්ම සුදුසුකම් ඇති ඔබ කලාත්මක චරිත හොයනවද? මට ජනප්‍රිය වෙන්න ආදර චරිත කරන්න ඕන නැහැ. ලංකාවේ පෙම්වතෙක් විදිහට ජනප්‍රිය වෙනවාට වඩා ගායකයෙක් විදිහට ජනප්‍රිය වෙන්න මම කැමතියි. ‘අසංවර වැස්ස’ වැනි සමාජයට පණිවුඩයක් ගෙනදෙන නිර්මාණයකට දායක වුණා කියලා කියන්න ලැබීමත් මා ලද භාග්‍යයක් විදිහටයි සලකන්නේ. කෙසේ පැවසුවත් තිරයේ මෙන්ම තිරයෙන් මෙපිටත් ගයාන් ගුණවර්ධන කියන පෙම්වතාට නිතැතින්ම ජනප්‍රියත්වයක් හිමියි නේද? මම කවදාවත් මගේ පෞද්ගලික ජීවිතය ප්‍රසිද්ධ කරගන්න දඟලලා නැහැ. මගේ ඉන්ස්ට්‍රග්‍රැම් එක හා ෆෙස්බුක් එකේ මම කලා කටයුතු කරන යොවුන් නිළියන්, ගායිකාවන්, නිවේදිකාවන් සමග ගත්ත මගේ ඡායාරූප දානවා. මට පෙම්වතියක් හිටියා නම් ඔය හැම ගැහැනු ළමයෙක් එක්කම ෆොටෝ දාන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නෙ නැහැ. මගේ පෙම්වතියන් විදිහට මාධ්‍ය මගින් හඳුන්වා දෙන ඔය තරුණියන් සියලු දෙනාම මගේ මිතුරියන්. මගේ ජීවිතයේත් යම් අය එක්ක පෙම් සබඳතා පැවතිලා තියෙනවා. ඒවා ජනප්‍රිය වෙන්න යොදාගන්න ඕන දෙවල් විදිහට මම හිතන්නේ නැහැ. ඒවා ජීවිතයට එනවා, යනවා. අපි ආදරය වගේම විරහව ඒක්කත් ජීවත් වෙන්න හුරු වෙන්න ඕන. ආදරය කරලා විරහව විඳලා ඒ දෙවල් මගේ නිර්මාණවලට යොදන්න පුළුවන් තැනක අද මම ඉන්නේ. අද වනවිට මම කිසිම කෙනෙක් එකක් විවාහ වුණා හෝ මට පෙම්වතියක් ඉන්නවා කියලා කාටවත් මට ඇඟිල්ල දික්කරලා කියන්න බැහැ. මම කිසිම තැනක මම කාගේ හෝ පෙම්වතෙක් කියල කියලත් නැහැ. මාධ්‍ය හා රසිකයා මෙයා තමයි මගේ පෙම්වතිය, මෙයා තමයි මට ගැළපෙන කෙනා කියලා කතාන්දර හදනවා. මගේ අම්මා, තාත්තා මට කියන්නෙ පුළුවන් තරම් උඹ තනිකඩව ඉඳලා උඹට කරන්න තියෙන වැඩ ටික කරගනින් කියලයි. ගයාන්ගේ ජීවිතයට ගැළපෙන කාන්තා චරිතයක් ගැන අදහසක්වත් නැද්ද? මට ගැළපෙනම කෙනා මගේ අම්මා. අම්මගෙන් ලැබෙන ආදරය. ලෙඩක් දුකක් හැදුණාම අම්මා මාව බලාගන්න විදිහ, අම්මා උයල කන්න දෙන කෑමවල රසට සම කරනන් පුළුවන් ආදරයක් ලැබෙන්නේ නැතිනම් මම මගේ නිර්මාණ කරගෙන තනිකඩව ඉන්න එක හොඳයි. ඒ වගේම තවත් කෙනෙක් බලාගන්න තරම් වගකීමක් ගන්න පුළුවන් තැනක මම තවම නැහැ. ගයාන් ආදරය මග හරිමින් ජීවිතයට ගලා යන්න ඉඩදීලද? මම ආදරයෙන්, මිත්‍රත්වයෙන් සංවේදී වෙන චරිතයක්. හිත මිතුරන් අතර ඇතිවන හිත් අමනාපකම්වලදීත් මම හරියට කඩා වැටෙන චරිතයක්. ඒ නිසාමයි මම හිත් වේදනා ඇතිවෙන ආදරය වැනි මාකෘකාවලදි ගොඩක් ඈත්වෙලා ඉන්නේ. මොකද ඒ වගේ තැන්වලදී හිත රිදිලා කඩා වැටුණාම මට මගේ නිර්මාණවත් හරියට කරගන්න බැරිවෙනවා. මම විශ්වාස කරන්නේ මම ඉපදිලා ඉන්නේ නිර්මාණකරුවෙක් වෙන්න කියලයි. ධම්මිකා සුරංජි පතිරණ
 

More News..