brand logo

ෆේස්බුක් සමඟ දත්ත බෙදා ගැනීමට වට්ස්ඇප් සැරසෙයි

08 January 2021

වට්ස්ඇප් සමාජ ජාලය විසින් එම සේවාව භාවිත කරන්නන්ගේ පෞද්ගලික දත්ත ලබා ගැනීමට කටයුතු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔවුන් විසින් හඳුන්වා දුන් නව රහස්‍යතා ප්‍රතිපත්තිය (Privacy Policy) තුළ මේ බව සඳහන් කර තිබේ. දැනට වට්ස්ඇප් සේවාව හරහා ඔබගේ පෞද්ගලික දත්ත ලබා ගැනීම සිදුකළත් මෙම නව ප්‍රතිපත්තිවලින් පෙරට වඩා දත්ත ලබා ගැනීම සිදු කරනු ලබන අතර මෙම නව ප්‍රතිපත්තින් අනුව වට්ස්ඇප් සේවාව භාවිත කරන්නන්ගේ දත්ත එම සේවාව අයත් මව් සමාගම වන ෆේස්බුක් සමාගම ෆේස්බුක් සමඟ බෙදා ගැනීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වට්ස්ඇප් සේවාව භාවිත කරන්නන්ගේ දුරකථන අංක, ඔවුන්ගේ ලිපිනයන් ඇතුළු සහ ඔවුන් භාවිතා කරන දුරකථන වර්ගය පිළිබඳ සවිස්තරාත්මක දත්ත පවා ෆේස්බුක් ආයතනයට ලබා ගැනීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වට්ස්ඇප් හරහා ගනුදෙනු කරන ඔබගේ භාණ්ඩ ප්‍රවාහනය කරන ස්ථානයන්, මිලදී ගැනීම් වාර්තා, මුදල් ගනුදෙනු කිරීම් කළ ඇතුළු දත්තයන් පවා මෙම නව රහස්‍යතා ප්‍රතිපත්තිය යටතේ ෆේස්බුක් සමාගමට අධ්‍යයනය කළ හැකියාව ලැබෙනු ඇත. මෙම නව ප්‍රතිපත්ති සමඟ වට්ස්ඇප් සේවාව පෙබරවාරි මස 08 වෙනිදා සිට යාවත්කාලීන වීමට නියමිත බවද වාර්තා වේ. ඔවුන්ගේ සේවාවන් ක්‍රියාත්මක කිරීමට, සැපයීමට, වැඩිදියුණු කිරීමට, තේරුම් ගැනීමට, අභිරුචිකරණය කිරීමට, සහාය වීමට සහ අලෙවිකරණය කිරීමට මෙම දත්තයන් හේතුවනු ඇති බව මෙම නව දත්ත ලබා ගැනීම පිළිබඳව අදහස් දක්වමින් ෆේස්බුක් ආයතනය සඳහන් කරයි. එමෙන්ම එම සමාගම තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම නව රහස්‍යතා ප්‍රතිපත්තිය තුළින් වට්ස්ඇප් සේවාව හරහා හුවමාරු වන වෛරීය ප්‍රකාශයන්, තර්ජන ප්‍රකාශයන් සහ වෙනත් දත්ත සොරාගැනීම් පණිවිඩ, සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් වැනි දේවල් පවා අධ්‍යයනය කළ හැකි නිසා වට්ස්ඇප් සේවාව තවත් කාර්යක්ෂම, ආරක්ෂිත තැනක් බවට පත් කිරීමට හැකියාව ඇති බවයි. එමෙන්ම ඉලක්කගත වෙළඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා ඉන්ස්ටග්‍රෑම් සහ ෆේස්බුක් සමඟ සම්බන්ධ වීමත් මෙම නව ප්‍රතිපත්ති හරහා ක්‍රියාත්මක වනු ඇත. එමඟින් ඔබ වට්ස්ඇප් සේවාව හරහා කතා කරනු ලබන වෙළෙඳාම් වැනි කටයුතු ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම්වලින් වෙළෙඳ දැන්වීම් ලෙස දැක ගැනීමට හැකියාව ඇත. නව දත්ත හුවමාරු ප්‍රතිපත්ති භාර නොගන්නා පරිශීලකයින්ට ඔවුන්ගේ ගිණුම් අක්‍රීය වී යනු ඇති අතර මෙම නව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට දින 120ක පමණ කාලයක් ලබාදෙනු ඇත. එම කාලය තුළ එම නව ප්‍රතිපත්තිවලට අනුගත නොවන සියලු දෙනාගේ වට්ස්ඇප් ගිණුම් අක්‍රීයව යනු ඇති බවද සඳහන් වෙයි.  
 

More News..