brand logo

ෆිෆා ලෝක පාපන්දු ශූරතාවලිය අද සිට ඇරඹෙයි

20 November 2022

පළමු තරගය කටාර් සහ ඉක්වදෝරය අතර

සිව් වසරකට වරක් එළැඹෙන ලොව වැඩිම ප්‍රේක්ෂක අවධානය යොමුවන ක්‍රීඩා ඉසව්ව ඇරඹෙමින් තවත් නොබෝ වේලාවකින් මුළු ලෝකයම ක්‍රීඩා උණුසුමෙන් ඇළලී යන්නේය. ඒ සත්කාරක කටාරය සහ ඉක්වදෝරය අතර පැවැත්වෙන 2022 පාපන්දු ලෝක කුසලානේ පළමු තරගයත් සමගිනි. ලෝක පාපන්දු ශූරතාවලියේ 22 වන වාරය ලෙසින් මෙවර පැවැත්වෙන 'ෆිෆා' ලෝක කුසලානය විශේෂ එකකි. ඒ මැදපෙරදිග රටක් පාපන්දු ලෝක කුසලානයක් සත්කාරකත්වය දක්වන පළමු අවස්ථාව මෙය වීම හේතුවෙනි. එසේම 'ෆිෆා' ලෝක කුසලානය ආසියාවේ පැවැත්වෙන දෙවන අවස්ථාව ද මෙය වන අතර 2002 වසරේදී මෙම ලෝක කුසලානයට ජපානය සහ දකුණු කොරියාව විසින් සම සත්කාරකත්වය දැරීය. මෙවර තරගාවලිය කටාර් හි නගර පහක් පුරා පැතිරී ඇති ක්‍රීඩාංගණ 8ක ක්‍රියාත්මක වීමට නියමිතය. ඒ සංග්‍රාම භූමියේ කණ්ඩායම් 32ක් තරග 64ක් සඳහා මුහුණ දෙන්නට සූදානමින් සිටී. තරගාවලියේ කාණ්ඩ 8ක් යටතේ කණ්ඩායම් 32ක් මෙවරද ලෝක කුසලාන දඩයම සඳහා සූදානමින් සිටී. මෙවර ලෝක කුසලානය ඒ අනුව ලුසෙයිල් හි ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගණය, අල් ඛෝර්හි අල් බයිට් ක්‍රීඩාංගණය, අල් වක්රාහි අල් ජනූබ් ක්‍රීඩාංගණය, අහමඩ් බින් අලි ක්‍රීඩාංගණය, කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය, අල් රේයාන්හි අධ්‍යාපනය සඳහා වන නගර ක්‍රීඩාංගණය, ස්ටේඩියම් 974 සහ දෝහා හි අල් තුමාමා ක්‍රීඩාංගණය යන ක්‍රීඩාංගණයන් හිදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබේ. මේ සියලුම ක්‍රීඩා පිටි කටාර් හි අගනුවර වන දෝහාවල සිට කිලෝමීටර් 55 ක අරයක් තුළ පිහිටා තිබීම තවත් එක් විශේෂත්වයකි. 1976 වසරේ ඉදි කෙරුණු කලීෆා ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හැර අනෙකුත් සියලුම ක්‍රීඩාංගණ පසුගිය වසර තුන තුළ ඉදිකර ඇත්තේ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමිනි. තෙවැනි ස්ථානය තෝරා ගැනෙන අවසන් තරගය කලීෆා ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය. ලුසායිල් අයිකොනික් ක්‍රීඩාංගණය මෙම ක්‍රීඩාංගණ 8 අතරින් ඉහළම ප්‍රේක්ෂක ධාරිතාවක් එනම් 80,000ක් රැඳවිය හැකි පිටිය වේ. එය මෙවර ශූරයන් තීරණය කෙරෙන අවසන් මහා තරගය සඳහා වෙන්කර තිබේ. ඊට අමතරව එහි සමාප්ති උත්සවයද තරගාවලියේ තරග 10කට සත්කාරකත්වය සපයනු අතර එය මෙවර ලෝක කුසලානයේ කාර්යබහුලම ක්‍රීඩාංගණය ද වේ. තරග 9කට සත්කාරකත්වය දැක්වීමට නියමිත අල් බයිට් ක්‍රීඩාංගණයේ එළැඹෙන නොවැම්බර් 20 වනදා ලෝක කුසලාන සමාරම්භක උළෙල සහ ආරම්භක තරගය සත්කාරක කටාර් සහ ඉක්වදෝරය අතර පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ස්ටේඩියම් 974 ක්‍රීඩාංගණය හා සබැඳි සුවිශේෂත්වයකි. මෙය කටාර් ලෝක කුසලානය පැවැත්වෙන ක්‍රීඩාංගණ අතර සම්පූර්ණයෙන්ම ගලවා ඉවත් කළ හැකි ක්‍රීඩාංගණයකි. බැලූ බැල්මට 'විහිළුවක්' ලෙසින් හැඟුණද එය තාක්ෂණය හා බැඳුණු ක්‍රීඩාවෙන් උසස්ම තත්ත්වයක් බව අවිවාදයෙන් පිළිගත යුතුය. සම්පූර්ණයෙන් කන්ටේනර් (බහාලුම්) පෙට්ටි වලින් නිර්මාණය වී ඇති මෙම ක්‍රීඩාංගණය නිර්මාණයට කන්ටේනර් බහලුම් 974ක් යොදා ගත් හෙයින් මෙයට " ස්ටේඩියම් 974" යන නාමය ලැබී තිබේ. මෙවර තරගාවලියේ ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඩොලර් මිලියන 44ක මුදලක් ලබා දීමට නියමිත අතර එය ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් බිලියන 16කටත් ආසන්න මුදලකි. තවද මෙම ශූරතාවේ ජයග්‍රාහකයන් සඳහා සමස්ත වශයෙන් ඩොලර් මිලියන 440ක් ත්‍යාග වශයෙන් ලබාදීමටද තීරණය කර තිබේ. මෙවර තරගාවලියේ ප්‍රවේශපතක මිල ආසන්න වශයෙන් රුපියල් 75,000කට සමාන බවද වාර්තා වේ. සාමාන්‍යයෙන් මැයි සිට ජූලි මාසය දක්වා කටාර්හි දැඩි උණුසුම කාලගුණයක් පවතින අතර ඒ නිසාම ලෝක කුසලානය නොවැම්බර් මාසයේදී පවත්වන්නට තීරණය කෙරිණි. ඒ අනුව මැයි සිට ජූලි දක්වා කාලයේ නොපවත්වා ශීත සෘතුවේ පවත්වන පළමු පාපන්දු ලෝක කුසලානයද මෙය වේ. කෙසේ නමුත් සෑම ක්‍රීඩාංගණයකම ඉන්ස්ටේඩියා උෂ්ණත්වය කළමනාකරණය කිරීම සඳහා ක්‍රීඩාංගණ නවීනතම දේශගුණ පාලන පහසුකම්වලින් සහ තරු පන්තියේ පහසුකම්වලින් සමන්විත වේ. මේ පාපන්දු ලෝක කුසලාන සමය ශීත සෘතුවේදී නිසැකවම පාපන්දු ලෝලීන්ව උණුසුම් කරනු ඇත. තවත් දින 28ක කාලයක් සහ තරග 64ක් ඇවෑමෙන් එම උණුසුම කෙමෙන් වර්ධනය වෙමින් 22 වැනි ලෝක කුසලාන ශූරයන් තීරණය වනු ඇත. චතුර රණසිංහ
 

More News..