brand logo

ෆයිසර් විද්දට පස්සේ වෙන දේ

07 January 2021

පසුගිය දෙසැම්බර් මස 31 වැනි දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මේ වන විටත් ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතින කොවිඩ්-19 වසංගතය වැළැක්වීමේ අරමුණින් එන්නතක් ලයිස්තුගත කර තිබේ. ‘ෆයිසර් බයෝටෙක් කොවිඩ්-19’ (Pfizer-BioNTech COVID-19) යන නමින් හැඳින්වෙන මෙම එන්නත හඳුන්වා දී තිබෙන්නේ ඇමරිකානු හා ජර්මානු ආයතන දෙකක් එකතු වෙමිනි. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් මෙම වසංගතයෙන් මුදා ගැනීම සඳහා ෆයිසර් එන්නත සුදුසු බව සිතන එම සංවිධානය, හදිසි අවස්ථාවලදී ෆයිසර් එන්නත යොදා ගැනීම අනුමත කර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමාලෝචනයෙන් පෙනී ගියේ ෆයිසර්-බයෝ එන්ටෙක් එන්නත විසින් ඒ තුළ පවතින අවදානම්වලට වඩා, ආරක්ෂාව සහ කාර්යක්ෂමතා ප්‍රතිලාභ සඳහා තිබිය යුතු නිර්ණායක සපුරාලන බවයි. එහෙයින් ෆයිසර් එන්නත වඩා ප්‍රතිඵලදායක වන බව ඔවුන්ගේ අදහසයි. කොවිඩ්-19 එන්නත් වෙනුවෙන් ගනු ලබන ගෝලීය ප්‍රවේශය සහතික කිරීම වෙනුවෙන් මෙය ඉතා ධනාත්මක පියවරක් වන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඖෂධ වැඩසටහන් පිළිබඳ ප්‍රධානියා වන මාරියන්ගෙලා සිමාවෝ පවසයි. ‘කෝවැක්ස්’ නමින් වැඩසටහනක් දියත් කරමින් පවතින එක්සත් ජාතීන් සහ සී.ඊ.පී.අයි. සංවිධානය, සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම එන්නත බෙදා හැරීම සඳහා මූලිකත්වය ගෙන තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුග්‍රහය ලබන කෝවැක්ස් සන්ධානය වෙත මේ වන විට එන්නතෙහි මාත්‍රා බිලියන 2කට ආසන්න ප්‍රමාණයක් ලබා දීමට නියමිත ව තිබේ. මෙහි පළමු බෙදාහැරීම 2021 මුල් භාගයේදී සිදු කිරීමට නියමිතය. ඒ සඳහා කෝවැක්ස් සන්ධානය විසින් ඇමරිකානු ෆයිසර් සමාගම සහ ජර්මානු බයෝ එන්ටෙක් ආයතනය සමග සාකච්ඡා පවත්වා ඇත. එසේ වුවද, ෆයිසර් බයෝටෙක් එන්නත සෙල්සියස් අංශක 70ක අවම උෂ්ණත්ව මට්ටමක තබා ගැනීම ඇතුළු ගබඩා කිරීමේ සහ බෙදා හැරීමේ අවශ්‍යතා කිහිපයක්ම මේ වන විට අභියෝගයක් බවට පත් ව තිබෙන බව පෙනේ. ප්‍රමාණවත් යටිතල පහසුකම් නොමැති, සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙම අවශ්‍යතා සපුරාලීම ගැටලුවක් බව සිතිය හැකිය. එහෙයින් එම අභියෝග මගහරවා ගැනීම සඳහා ගත හැකි පියවරයන් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කිසියම් උපදෙස් මාලාවක්ද නිකුත් කර තිබේ.

එන්නතෙහි ස්වභාවය.

වර්ගය: mRNA මාත්‍රා ගණන - දින 21ක පරතරයක් සිහිතව ලබා දිය යුතු මාත්‍රා ගණන දෙකකි. ස්ථානය - අතෙහි ඉහළ මාංශ පේශි තුළට එන්නත ඇතුළු කරනු ලැබේ. මෙම එන්නත තුළ බිත්තර, ඌරු තෙල්, කල් තබා ගන්නා ද්‍රව්‍ය හෝ රබර් කිරි ආදිය ඇතුළත් නොවේ. වයස අවුරුදු 16 සහ ඊට වැඩි පුද්ගලයන් සඳහා ෆයිසර් - බයෝටෙක් එන්නත නිර්දේශ කෙරේ. ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතෙහි කිසියම් අමුද්‍රව්‍යයක් සඳහා දරුණු ආසාත්මිකතා තිබේ නම්, ඔබ එන්නත ලබා නොගත යුතුය. එනම් සීනි, ලුණු, ලිපිඩ, පොටෑසියම් ක්ලෝරයිඩ්, පොටෑසියම් පොස්පේට්, සෝඩියම් පොස්පේට් යනාදියයි. ඔබට වෙනත් එන්නත් හෝ එන්නත් කළ යුතු ප්‍රතිකාරවලදී දැඩි අසාත්මිකතා ඇති වී ඇත්නම්, ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත ලබා ගැනීමට හැකිදැයි ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් විමසිය යුතු ය. එන්නත ලබා ගැනීම ඔබට ආරක්ෂිත දැයි තීරණය කිරීමට වෛද්‍යවරයා ඔබට සහාය වනු ඇත.

අතුරු ආබාධ

වඩාත් සුලභ අතුරු ආබාධ වනුයේ සිරුරේ අධික වේදනාව, එන්නත ලබා දුන් ස්ථානය ඉදිමීම හා රතු පැහැ වීම, අධික ශීතල, වෙහෙස, හිසරදය යනාදියයි. මෙම අතුරු ආබාධ සාමාන්‍යයෙන් එන්නත ලබා දිනක් හෝ දෙකක් ඇතුළත ආරම්භ වේ. ඔබට මෙම තත්ත්වය උණෙහි රෝග ලක්ෂණ මෙන් හැඟිය හැකි අතර එදිනෙදා කටයුතු කිරීමට ඇති හැකියාවට පවා එය බලපානු ඇත. එනමුත් ඒවා දින කිහිපයක් ඇතුළත ඉවත්ව යා යුතුය. එසේ පහව නොගියහොත් වහාම රෝහල්ගත වීම අත්‍යවශ්‍යය. එබැවින් එන්නත ලබා ගැනීමෙන් පසු ඇති විය හැකි අතුරු ආබාධ සම්බන්ධයෙන් කළ යුතු දේ පිළිබඳ නියත වශයෙන්ම උපදෙස් ලබා ගැනීමට වග බලා ගැනීම යෙහෙකි. එන්නත ස්ථිර කිරීමට පෙර සිදු කෙරුණු සායනික අත්හදා බැලීම්වලදී, ප්‍රතික්‍රියාකාරක රෝග ලක්ෂණ එනම්, එන්නත ලබා දින 7ක් ඇතුළත සිදුවන අතුරු ආබාධ සුලභ වූ නමුත් බොහෝ විට ඒවා එතරම් බරපතළ නොවීය. දෙවන මාත්‍රාවෙන් පසුව ශරීරය පුරා පැතිරුණු අතුරු ආබාධ (උණ, විඩාව සහ හිසරදය වැනි) බහුල ව දක්නට ලැබිණි. කෙසේ වෙතත්, සුළු පිරිසකට දරුණු අතුරු ආබාධ ඇති විය. එයින් ස්වල්ප දෙනෙකුට රෝහල්ගත වීමට සිදුවූ නමුත් එතරම් ගැටලුවක් ඇති නොවූ බව කියවේ. අත්හදාබැලීම්වල දී එන්නත ලබා ගත් කිහිප දෙනෙකු මිය ගොස් ඇති බවද වාර්තා වේ. එනමුත් එන්නත ස්ථිර කිරීමට ප්‍රථම මියයාමට තුඩු දෙන කරුණු ඉවත් කරන්නට ඇති බැවින් ඊට බිය විය යුතු නැත. කෙසේ නමුත් ෆයිසර් - බයෝටෙක් එන්නත ලබාගත් පුද්ගලයන් හා සේලයින් ප්ලේසෙබෝ ලබා ගත් පුද්ගලයින් සසඳන විට, වඩා සුදුසු වන්නේ ෆයිසර් එන්නත බවට ලෝක සෞඛ්‍ය සංවිධානය තීරණය කර තිබේ. අන් සියලු එන්නත්වලට වඩා මෙම එන්නත 95%ක් සාර්ථක බවට සායනිකව තහවුරු වී ඇත. නුදුරු දිනකදීම ශ්‍රී ලාංකිකයින් හටත් මෙම එන්නත ලබාගැනීම සඳහා පහසුකම් සැලසෙනු ඇත. ශ්‍රීනි ලංකා ජයකොඩි
 

More News..