brand logo

ෆයිසර් එන්නත ලබාදුන් 30ක් මිය ගිහින්

18 January 2021

නෝර්වේහි කොවිඩ් එන්නත ලබාදුන් වියපත් පුද්ගලයන් 30කට ආසන්න සංඛ්‍යාවක් එම එන්නත ලබා ගැනීමෙන් පසුව මරණයට පත් වීම මේ වනවි ට විශාල අවධානයක් දිනාගෙන තිබේ. මෙම පුද්ගලයන්ට ලබාදී තිබුණේ මේ වන විට අනුමැතිය ලැබී ඇති ප්‍රධානම එන්නතක් වන ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නතයි. මෙම තත්ත්වයත් සමග විවිධ නිදන්ගත රෝග ආදියෙන් පෙළෙන වියපත් අයට මෙම එන්නත් ලබාදීම අනතුරුදායක විය හැකි බවට එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනයක් නිකුත් කර තිබිණි. මෙවැනි සිද්ධියක් වාර්තා වන්නේ බොහෝ රටවල් මෙම එන්නත් තම ජනතාවට ලබාදීම සඳහා අනුමත කරමින් සිටියදී වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් මියගිය පුද්ගලයන් සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ සිදු කරමින් ඇති බවත්, මරණවලට හේතුව එන්නත් නිසා හටගත් අතුරු ආබාධ විය හැකි බව විශ්වාස කරන බවත් බලධාරීන් පවසා ඇත. ඉතා සාමාන්‍ය මට්ටමේ අතුරු ආබාධ පවා ඇතැම් විට රෝග සහිත දුර්වල සහ වියපත් පුද්ගලයන්ට දරුණු ලෙස බලපෑ හැකි බව මෙහිදී පෙන්වා දෙනු ලැබේ. තරුණ සහ නිරෝගී පුද්ගලයන් මෙම තත්ත්වය ගැටලුවක් කරගත යුතු නොවන බවද ඒ පිළිබඳ විශේෂඥයෝ අවධාරණය කරති. කෙසේ නමුත් නෝර්වේහි ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ලොව පුරා විශාල අවධානයක් යොමු වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. එන්නත ලබා දීමේදී පරෙස්සම් විය යුතු කාරණා ගැන මේ තුළින් අනාවරණය වන බව විශේෂඥයෝ පෙන්වා දෙති. මේ අතර එන්නත නිපදවූ ෆයිසර් - බයෝඑන්ටෙක් පාර්ශ්වය නෝර්වේහි බලධාරීන් සමග එක්ව මේ පිළිබඳ සොයා බලන බවද වාර්තා වේ. ෆයිසර් සමාගම පවසා ඇත්තේ මෙතෙක් වාර්තා වී ඇති සිදුවීම් බොහොමයක් බලාපොරොත්තු වූ සීමාවෙහි පවතින බවයි. මෙම එන්නත් පොදු භාවිතය සඳහා ගැනීමට පෙර දස දහස් ගණනක් ස්වේච්ඡා සාමාජිකයන්ට ලබා දී අත්හදාබලන ලදී. මෙම අත්හදාබැලීම්වලදී වියපත් අයටද එන්නත ලබා දුන් නමුත් සාමාන්‍ය වශයෙන් ඒවා ලබා දී තිබුණේ වයස පනස් ගණන්වල පසුවන පුද්ගලයන්ට බව අනාවරණය වේ. නමුත් බොහෝ රටවල් සිය එන්නත් වැඩසටහන්වලදී මුලින්ම ඒවා ලබා දුන්නේ ඊට වඩා වයසින් වැඩි වියපත් උදවියටය. සහන් වික්‍රමගේ
 

More News..