brand logo

ළමා ශ්‍රම වෙළෙඳපොළ රටින් තුරන් කරනවා

09 July 2020

කොවිඩ් වසංගතය හේතුවෙන් පැවැති ඇඳිරි නීති සමයේ පවා මෙරට කම්කරු දෙපාර්තමේන්තුව ළමා ශ්‍රම වෙළෙඳාම පිළිබඳව ලැබෙන පැමිණිලි නොකඩවා විමර්ශනය කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (8 වැනිදා) කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අමතමින් ප්‍රකාශ කළේය. සමුළුව අමතමින් ජනාධිපතිවරයා මෙසේද කීවේය. ‘‘කොවිඩ් 19 සහ වැඩකරන ලෝකය - වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම” තේමාව කොටගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව සමග මගේ අදහස් බෙදා හදා ගැනීමට ලද මේ අවස්ථාව පිළිබඳව මම ඉතා සතුටු වෙනවා. කොවිඩ් 19 වසංගතයට එරෙහිව අප සියලුදෙනා සටන් වැද සිටින මේ සංවේදී කාල පරිච්ඡේදයේදී සිය “වැඩ ලෝකය” නොබිඳී පවත්වාගෙන යාම සඳහා සෑම රටක්ම ගත් ක්‍රියා මාර්ග මම අගය කරනවා. ඇතැම්විට වර්තමාන ලෝකය මුහුණ දෙන ප්‍රබලතම මානව අර්බුදය කොවිඩ් 19 විසින් නිර්මාණය කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, පශ්චාත් කොවිඩ් 19 සමයේදී සංවර්ධිත මෙන්ම සංවර්ධනය වෙමින් පවතින රටවල ද “ වැඩ ලෝකය” එකසේ සුවිසල් ප්‍රතිසංවිධානයකට ලක්ව පවතී. ශ්‍රී ලංකාව බාහිර නිර්ණායකයන්ට සංවේදී වන, සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයකි. මේ වසංගතය නිසා ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් අපේ ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට අපි විශේෂයෙන් අවධානය යොමු කළා. අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6 කි. ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් පෞද්ගලික අංශයේ සේවයෙහි නිරතව සිටියා. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ අප හඳුන්වාදුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ සෑම අංශයක්ම ආවරණය කළා. අප්‍රේල්, මැයි කාලවකවානුව තුළ වඩාත් පීඩාවට පත් ස්වයං රැකියාවල නිරත කණ්ඩායම් සඳහා රුපියල් පන්දහස බැගින් ස්ථාවර මාසික දීමනාවක් ප්‍රදානය කිරීම ඒ අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා. දෛනික වැටුප් ලබන සියලු සේවකයන්, පෙර පාසල් ගුරුවරු සහ ස්වයං රැකියාවල නිරත වූවන් වැනි අවදානමට පත් පාර්ශ්ව ඉන් ආවරණය වුණා. රටෙන් පිටත සේවය කරන විශාල ශ්‍රම බලකායක් ශ්‍රී ලංකාව සතුව ඇත. ගුවන් ගමන් සඳහා වාරණ පනවා තිබූ අවස්ථාවේදීත්, විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයන් පහළොස් දහසකට ආසන්න පිරිසක් නැවත මව් රටට ගෙන්වා ගත්තා. මේ තත්ත්වය අපගේ සමස්ත සේවා නියුක්ති ව්‍යුහයට වෙනසක් ඇතිකළා. අපේ අරමුණ වූයේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවයි. මේ කාණ්ඩයට අයත් සේවා නියුක්තිකයන්ට, නැවතත් තමන් කලින් රැකියාව කළ විදේශ රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළඳ පොළට දායකවීමේ අවස්ථාව නිර්මාණය වෙලා තියෙනවා. මෙය අපේ වැඩ ලෝකයේ නව මුහුණුවර හැඩගස් වනු ඇත. ශ්‍රී ලංකාවේ නිපුණතා අංශ පශ්චාත් කොවිඩ් 19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත සිතාබැලීමක් කළ යුතුයි. අර්බුද සමය තුළ රැකියා අහිමිවූවන් බල ගැන්වීම සඳහා වන අපේ වැඩ සැලැස්මෙන් සේවක නිපුණතා යළි පෙළ ගැස්වීම හා විධිමත් කිරීම සපුරා ගන්නවා. ව්‍යසනකාරී ළමා ශ්‍රම වෙළෙඳ පොළ වසර 2022 පමණ වන විට තුරන්කිරීමට ශ්‍රී ලංකාව පොරොන්දු වී ඇත. මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපේ කම්කරු දෙපාර්තමේන්තුව ළමා ශ්‍රම වෙළඳාම පිළිබඳව ලැබෙන පැමිණිලි නොකඩවා - කොවිඩ් - 19 ඇඳිරිනීති සමය තුළ පවා විමර්ශනය කළා. ශ්‍රම බලකායට අදාළ සියලු ක්‍රියාකාරකම් සඳහා ආවරණය සපයන්නේ අපගේ කම්කරු ඇමැතිවරයා සභාපතිත්වය දරන ත්‍රෛපාර්ශ්වීය කාර්ය සාධක බලකායයි. සේවා නියුක්තියේ සුරක්ෂිතතාව, වැටුප් නැවත සලකා බැලීම සහ වෙනත් අදාළ ගැටලු පිළිබඳව සේවා යෝජක නියෝජිතයන්, සේවාදායකයන් හා කම්කරු නිලධාරීන් අතර සාකච්ඡා කෙරෙන පොදු ලක්ෂ්‍යයක් ලෙස කාර්ය සාධක බලකාය ක්‍රියා කරනවා. රටවල්වලට දිගු කාලීන සැලසුම් ක්‍රියාත්මක කිරීමට තරම් කොවිඩ් - 19 තත්ත්වය ගෝලීය වශයෙන් සමතුලිතතාවකට ළඟා වී නැති බව මගේ විශ්වාසයයි. කෙසේ වුවත්, කෙටි කාලීනව නව සාමාන්‍ය තත්ත්වයක් නිර්මාණය කිරීමට සහ මධ්‍ය කාලීනව එය ස්ථාවර කිරීමට ප්‍රමාණවත් අවස්ථා එමගින් උදා කර දී ඇත. ශ්‍රී ලංකාව මෙය දකින්නේ පශ්චාත් කොවිඩ් 19 කාලපරිච්ඡේදයෙහි නව සාමාන්‍ය තත්ත්වයට එළඹීම සඳහා මෙරට “වැඩ ලෝකය” නැවත හැඩ ගැස්වීමෙහි අඩිතාලමක් වශයෙන්. මේ අවස්ථාව සෑම රටකටම සිය “වැඩ ලෝක” යෝග්‍ය පරිදි නැවත පෙළ ගැස්වීමටත්, මේ ගෝලීය ව්‍යසනයෙන් අනතුරුව ආරක්ෂාකාරී සහ ශක්තිමත් ලෙස නැඟී සිටීමටත් උපකාරී වනු ඇතැයි මා අවංකවම අපේක්ෂා කරනවා.’’
 

More News..