brand logo

හෝමාගම මූලික රෝහල මධ්‍යම රජයට පවරාගෙන කඩිනමින් පහසුකම් නංවනවා

28 February 2020

හෝමාගම මූලික ​රෝහල මධ්‍යම රජයට පවරා ගැනීමට පියවර ගන්නා බවත් ඉදිරි සතිය තුළ ඒ සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය. ඇමැතිවරිය මේ බව සඳහන් කළේ හෝමාගම මූලික රෝහලේ පෙරේදා (26 වැනිදා) හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි. එහිදී රෝහල් පාලනාධිකාරිය ඇතුළු නිලධාරී මණ්ඩලය සමග රෝහලේ වත්මන් තත්ත්වය සහ ඉදිරි සංවර්ධන වැඩසටහන් පිළිබඳ සාකච්ඡා කෙරිණි. දැඩි සත්කාර ඒකකයේ පහසුකම් ලබා ගැනීම සඳහා වෙනත් රෝහල්වලින් රෝගීන් මාරු කරන අවස්ථාවලදී සහ හදිසි අනතුරු තත්ත්වයකදී මෙම රෝහලෙන් විශාල සේවාවක් ලබාදිය හැකි බව රෝහල් පාලනාධිකාරිය ඇමැතිවරියට පෙන්වා දුන්නේය. ඒ නිසා හෝමාගම මූලික රෝහල තවත් සංවර්ධනය කර ප්‍රතිකාර සේවාවන් ඉහළ නැංවිය යුතු බවද රෝහල් පාලනාධිකාරිය ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලවල ප්‍රධාන ඉල්ලීමක් විය. එමෙන්ම රෝහලේ සේවාවන් ඉහළ නැංවීම සඳහා වෛද්‍යවරුන් 10ක් හෙදියන් 43ක් සෞඛ්‍ය කාර්ය සහායකයන් 25ක් වෛද්‍ය රසායනාගාර කාර්මිකයන් 06ක්ද ලබා දීමට පියවර ගන්නා ලෙසද රෝහල් පාලනාධිකාරිය ඇමැතිවරියගෙන් ඉල්ලීමක් කළේය. ඊට අමතරව හදිසි ප්‍රතිකාර ඒකකය හා ශල්‍යාගාරය ඇතුළත් නව සංකීර්ණයේ උපකරණ සඳහා ආසන්න වශයෙන් රුපියල් මිලියන 240ක් පමණ අවශ්‍ය බවද එහිදී අනාවරණය විය.
 

More News..