brand logo

හෝටල් ආශ්‍රිත නිරෝධායනයේදී අතරමැදියෝ එපා

14 January 2021

සංචාරක හෝටල් ආශ්‍රිතව ඉදිකෙරෙන නිරෝධායන ක්‍රියාවලිය සඳහා කිසිදු අතරමැදියකු සම්බන්ධ කර නොගන්නා ලෙස යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අදාළ හෝටල් හිමියන්ට දැනුම් දී ඇත. යුද හමුදාපතිවරයා පවසන්නේ කොවිඩ් -19 වෛරසයේ දෙවන රැල්ල පැතීරයෑමෙන් පසුව මෙවැනි වංචනික ක්‍රියාවන් සිදුකරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළ බවය. නිරෝධායන ක්‍රියාවලිය ඉතා ඉහළ ප්‍රමිතියකින් හා විශ්වාසනීයව පවත්වාගෙන යෑමට යුද හමුදාව කටයුතු කරන බැවින් ඒ සම්බන්ධයෙන් යුද හමුදාව ගොඩනගාගෙන ඇති ප්‍රතිරූපයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී හෝටල් හිමිකරුවන් සහ හෝටල් විධායක නිලධාරීන් සමඟ පැවැති විශේෂ සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා මේ බව කියා සිටියේ ය. මෙරටට පැමිණ හෝටල්වල නිරෝධායනයට ලක්වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සාධාරණ මුදලකට ලබාදීම තම අරමුණ බව යුද හමුදාපතිවරයා පෙන්වා දෙයි. විදෙස්වල සිට පැමිණෙන පුද්ගලයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල්වලට යොමුකිරීමේදි ඇතැම් වංචනික පුද්ගලයින් මුදල් ලබාගෙන තිබුණද එවැනි ක්‍රියාවන් සිදුවීමට ඇති ඉඩකඩ මේ වනවිට සම්පුර්ණයෙන්ම අවුරා තිබෙන බවද පැවසු ශවේන්ද්‍ර සිල්වා මහතා යම්කිසි හෝ ආකාරයකින් එවැනි ක්‍රියාවක් සිදුවූවහොත් ඒ පිළිබඳ වහාම යුද හමුදාවේ අවධානයට යොමුකරන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා තිබේ.
 

More News..