brand logo

හොර ස්පා 40,000ක් අල්ලන්න ආරක්ෂක අමාත්‍යාංශයෙන් නියෝග

14 January 2020

ආයුර්වේද සම්බාහන මුවාවෙන් දිවයින පුරා පවත්වාගෙන යන ස්පා පිළිබඳ සංගණනයක් පවත්වා නීතිවිරෝධී ‘ස්පා’ ආයතන වසා දැමීමට පොලිස් මූලස්ථානය වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත. රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි. ‘ස්පා’ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සහ සංචාරක මණ්ඩලයේ අනුමැතිය මත පවත්වාගෙන යා යුතුවෙයි. එහෙත් ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ නීති විරෝධී ආකාරයට පවත්වා ගෙන යන ස්පා ආයතන 40,000කට ආසන්න සංඛ්‍යාවක් දිවයින පුරා ඇති බවයි. ආයුර්වේද දෙපාර්තමේන්තුව මේ පිළිබඳ කරුණු පොලිස් මූලස්ථානයට දැනුම් දී ඇත. මෙම ස්පා ආයතන සමාගම් මැදුරේ ලියාපදිංචි කර පවත්වා ගෙන යන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසයි. උදාහරණයක් ලෙස මහරගම නගර සභා බලසීමාවේ නීති විරෝධී ස්පා ආයතන 300ක් ඇති බව ආයුර්වේද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. නමුත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේද අනුමැතිය ගෙන ඇත්තේ ස්පා ආයතන හයක් පමණි. මහා සංඝරත්නයෙන් සහ ජනතාවගෙන් ලද පැමිණිලි මත පොලිස් මූලස්ථානය මෙම විමර්ශනය ආරම්භ කර ඇත. මෙම ස්පා මගින් සමාජ රෝග ඇතුළු බහුලව පැතිරෙන රෝග රැසකට වත්මන් පරපුර බිලිවෙමින් පවතින බවද අනාවරණය වී තිබේ. පොලිසියේ ඉහළ නිලධාරීන්ට මාසිකව රුපියල් ලක්ෂයේ සිට ඉහළට අල්ලස් ගෙවමින් බහුතරයක් නීතිවිරෝධී ස්පා පවත්වාගෙන යන බවද හෙළිවී තිබේ. උදයජීව ඒකනායක
 

More News..