brand logo

හොරොව්පතාන අලිගාලෙන් 50ක් පැනලා

07 September 2019

දරුණු අලි ගාල් කිරීම සඳහා රුපියල් කෝටි ගණනක මුදලක් වැයකර හොරොව්පොතානේ ඉදිකරන ලද ලොව ප්‍රථම වන අලි රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි (අලි ගාල) අලි පහළොස් දෙනෙක් මියගොස් ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසර පහක කාලයේ දී මෙලෙස වන අලි මියගොස් ඇත. එම අලි රැඳවුම් මධ්‍යස්ථානයට දරුණු තත්ත්වයේ අලි පනස් දෙදෙනකු පසුගිය කාලයේදී විවිධ ප්‍රදේශවලින් ගෙනැවිත් දැමූ බව ආරංචි වෙයි. මෙම මධ්‍යස්ථානයේ සිටි වන අලින්ගෙන් විසඅට දෙනකුම මධ්‍යස්ථාන භූමියෙන් පලාගොස් කැබිතිගොල්ලෑව, හොරොව්පොතාන, මැදවච්චිය, අනුරාධපුර, කැකිරාව ආදී ප්‍රදේශවල ගම්මානවලට කඩා පැන වගාබිම් විනාශ කරන බවද පැවසේ. හොරොව්පොතාන වන අලි රැඳවුම් මධ්‍යස්ථාන භූමියේ මෑතක දී කරන ලද සමීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මේ වන විට එහි වන අලි නව දෙනකු පමණ සිටින බවය. අක්කර නවසිය ගණනක් පුරා විහිදී ඇති අලි රැඳවුම් මධ්‍යස්ථානය වටා විදුලි වැටක් සකස් කර තිබුණද, ඉන් ප්‍රතිඵලයක් නැති බවද අනාවරණය වෙයි. ඊට හේතුව විදුලි වැටට පාදය තබා අලි පලා යාම බව කියයි. මෙම මධ්‍යස්ථානයේ අලි ගම්වැදීම නිසා අලි මිනිස් ගැටුම නොතිබූ ගම් ප්‍රදේශවලද මේ වන විට ගැටුම උද්ගත වී ඇති බව වාර්තා වෙයි. එහෙයින් දරුණු අලි ගාල් කිරීම සඳහා කරනු ලබන ව්‍යාපෘති අසාර්ථක බවද කියැවේ. මෙම අලි රැඳවුම් මධ්‍යස්ථානය සුදු අලියෙක් බවත්, මින් සිදු වී ඇත්තේ අලි මිනිස් ගැටුම වැඩිවීම පමණක් බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහුම පවසති. මේ පිළිබඳව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී. සූරියබණ්ඩාරගෙන් අප කළ විමසීමකදී ඔහු කියා සිටියේ, ‘එක එක්කෙනා විවිධ කතාන්දර කියනවා. මේ අලි රැඳවුම් මධ්‍යස්ථානයෙන් පැන ගියේ ගල්ගමුවේ තනි දළයා සහ තවත් අලියකු පමණයි. මෙහිදී අලි කීප දෙනකු මිය ගියා. වෙඩි වැදීම, බඳින කඳන් පත්තුවීම යනාදී කාරණා මත තුවාල වී සිටි අලි කීප දෙනකු එලෙස ආසාධ්‍ය තත්ත්වයෙන් මියගියා. එම අලි රැඳවුම් මධ්‍යස්ථානවලට ගේන්නට පෙරයි එවැනි අනතුරුවලට මුහුණ පා සිටියෙ. මේ රැඳවුම් මධ්‍යස්ථානයට දළ සත්තු දාන්න බෑ. විදුලි වැටට පාද තියලා එළියට යනවා. එකම අලියා අවස්ථා කීපයකදී පැන ගියාම යළි අල්ලා දෙතුන්වර ගෙනත් දානවා’’ යනුවෙනි. සාලිය කුමාර ගුණසේකර
 

More News..