brand logo

හොරෙන් බෙහෙත් ගෙනා ෆාමේස් සමාගමට රාජිතත් හවුල්

07 February 2020

ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න සම්මාන පවා ලබාදී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පැවසීය. ප්‍රධාන ලේකම්වරයා මේ බව සඳහන් කළේ කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ ඊයේ (6)  වැනිදා පැවැති මාධ්‍ය හමුවේදීය.
මෙම ආයතනය ඇතුළු තවත් ආයතන සමග හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා ඍජු සම්බන්ධතා පැවැත් වූ බවද ඒ මහතා කීවේය. ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැට නමයකටත් වැඩි මුදලකට ඖෂධ සංස්ථාව ෆාමේස් ආයතනයට නිකුත් කර ඇතැයි ද මෙම ටෙන්ඩරය හරහා පමණක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන පහකට වැඩි යැයිද වෛද්‍යවරයා සඳහන් කළේය. පිළිකා ඖෂධ මගඩිය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභා සාක්ෂිවලින් හෙළිවුණේ හිටපු සෞඛ්‍ය ඇමැතිවරයා සමග එකට ගනුදෙනු කළ සමාගම්වල නම් යැයි ද ෆාමේස් සමාගමත් ඒ අතර වූ බවද සඳහන් කළ වෛද්‍ය හරිත අලුත්ගේ හිටපු ​සෞඛ්‍ය ඇමැතිවරයා එම සමාගමට සම්මානයක් ලබාදීම පුදුමයට කරුණක් නොවන බවත් කීවේය. සෑම ටෙන්ඩරයක්ම ලබාදෙන්නේ ෆාමේස් ආයතනයට නම් ප්‍රසිද්ධ ටෙන්ඩර් කැඳවීම් කරන්නේ මන්දැයි ජනාධිපති කොමිෂන් සභාවේ ප්‍රධාන සභාපති විනිශ්චයකාරවරයා එක්වරකදී ප්‍රශ්න කර සිටියේ යැයිද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය. මහ බැංකු බැඳුම්කර වංචාව මෙන් දෙගුණයක වංචාවක් ඖෂධ මිලදී ගැනීමේදී ඉකුත් වසර හතර පහේදී සිදුවී ඇති බවත් එම වංචාව රුපියල් බිලියන විස්සකට වැඩි බවත් හරිත අලුත්ගේ ප්‍රකාශ කළේය. නව රජයක් බිහිවූ පසු මෙවැනි දූෂිත ගනුදෙනු නතරවනු ඇතැයි අපේක්ෂා කළ නමුත් තවදුරටත් එම දූෂිත ගනුදෙනු සිදුවෙමින් පවතින්නේ යැයි ද හොඳම උදාහරණය පසුගිය දෙසැම්බර් 16 වැනිදා පිළිකා ඖෂධයක් සම්බන්ධ ටෙන්ඩරයක් ඖෂධ සංස්ථාවෙන් නැවතත් ෆාමේස් සමාගමට ලබාදීම යැයි ද ප්‍රධාන ලේකම්වරයා කී‍වේය. පිළිකා ඖෂධ ගෙන්වීමට අදාළ අක්‍රමිකතාවක් හේතුවෙන් ෆාමේස් සමාගමේ ඖෂධ ව්‍යාපාර කටයුතු ඖෂධ නියාමන අධිකාරියෙන් මේ වන විට අත්හිටුවා ඇත.
  චාමර පල්ලේගෙදර අශිකා ජයවීර
 
 

More News..