brand logo

හොඳටම බීලා තමන්​ගේම වාහනෙන් ගෙදර යන කලාව

25 March 2019

‘‘බීමතින් රිය පැදවීම’’ යනු අපේ රටේ රථවාහන ධාවන ක්ෂේත්‍රයෙහි ඇති අතිශය බරපතළ ගැටලුවකි. බීමතින් රිය පැදවීම, මාරක රිය අනතුරුවලට හේතුවක් වන අතර එයින් රිය පැදවූ තැනැත්තාට පමණක් නොව, පාරේ යමින් සිටි උදවියට පවා විපත් ගෙන දෙන්නේය. පොලිසිය පසුගියදා නිකුත් කළ තොරතුරු අනුව, ඉකුත් මාර්තු 14 දින සිට 19 දක්වා කාලය තුළ විවිධ රථවාහන වැරදි කළ පුද්ගලයන් 27,954 දෙනෙක් නීතියේ රැහැනට හසුකරගෙන තිබේ. ඉන් 1321 දෙනකුම බීමත් රියැදුරන්ය. විශේෂයෙන්ම හැන්දෑ ජාමයටද, රාත්‍රී කාලයටද පොලිස් නිලධාරීහු පාරේ රැඳී සිටිමින් බීමත් රියැදුරන් කොටුකර ගැනීමට ප්‍රයත්න දරති. සැකසහිත රියැදුරන්ට ළංවන ඔවුහු වරෙක මුවින් මත්පැන් ගඳ වහනය වන්නේදැයි විපරම් කරති. තවත් වරෙක ‘‘පරීක්ෂණ බැලුමක්’’ පුම්බන්නට දී රියැදුරු මත්පැන් බිව් නොබිව් නියාව නිශ්චය කර ගනිති. යම් රියැදුරෙක් බීමතින් රිය පදවා පොලිසියට හසු වුවහොත් ගෙවන්නට සිදුවන දඩය රුපියල් පන්දහසකි. ඊට අමතරව පොලිසියේදී බොහෝ ‘ගරු සැලකිලි’ ද හිමි වන්නට ඉඩ තිබේ. ඇතැම් අවස්ථාවක රියැදුරු බලපත්‍රය තහනම් කිරීම දක්වා ප්‍රශ්නය දුරදිග යන්නටද පුළුවන. කෙසේ වෙතත් බීමත් රියැදුරන්ට යම් සහනයක් ලැබිය හැකි අපූරු සේවාවක් දැන් කොළඹ නගරය මුල්කරගෙන ක්‍රියාත්මක වෙයි. එහි නම "Drink Drive" ය. සිංහල බසින් කියන්නේ නම් ‘බොන්න - පදවන්න’’ යන්නයි. එය රිය පැදවීමේ සේවාවකි. එම සේවාව ක්‍රියාත්මක වන්නේ රාත්‍රියේ සිට අලුයම යාමය දක්වාය. මත්පැන් පානය කිරීම නිසා රියැදුරුකම් කරන්නට බැරි මහත්වරුන්ට සහ නෝනාවරුන්ට රිය පදවාදී, ඔවුන් ඉතා සුරක්ෂිතව ගෙදරට ඇරලවීම "Drink drive" හෙවත් ‘‘බොන්න පදවන්න’’ සේවාව මගින් සිදු වෙයි. "Drink drive" තම සේවාදායකයා ගෙදර ඇරලවන්නේ ඔවුන්ගේම (සේවාදායකයාගේම) වාහනවලිනි! ඔවුන් තම සේවාව සඳහා ගනුදෙනුකරුවන්ගෙන් ගාස්තුවක් අයකරයි. මධුවිතක් සප්පායම් වීම නිසා රිය පැදවීම කළ නොහැකි ඕනෑම කෙනකුට ‘‘අන්තර්ජාල ඇප් මෘදුකාංගයක් ඔස්සේ "Drink drive" සේවාව ලබා ගැනීමට පුළුවන. "Drink drive" සේවාවේ අලෙවි සහ මහජන සම්බන්ධතා ප්‍රධානී නවීන් ජයසිංහ මහතා පවසන අන්දමට, මෙම සේවාව ආරම්භ වීමට මුල පුරා ඇත්තේ බීමතින් රිය පැදවීම සහ එයින් රිය අනතුරු බහුලවීම යන කාරණා විශාල සමාජ කථිකාවක් බවට පත්වීමත් සමගිනි. ‘‘නාගරික සංස්කෘතිය බොහෝම වේගයෙන් සංකීර්ණ වෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ගේ වාහන භාවිතය ඉහළ ගියා. පෞද්ගලික වාහන පාවිච්චිය ඉහළ ගියා. විවිධ උත්සව, ප්‍රියසාද වගේම මිතුරු හමුවීම්ද වැඩිවෙන්නට පටන් ගත්තා. රාත්‍රී සමාජශාලා වගේ තැන්වලට යන පිරිසද වැඩිවුණා. සෑම තැනකම මත්පැන් භාවිතාවද ඉහළ ගියා. විනෝද වීම සහ හිත මිතුරන් ඇසුරු කිරීම නාගරික ජීවිතයේ කොටසක් බවට පත් වුණා. මේ තත්ත්වය නිසා බීමතින් රිය පැදවීම් වැඩිවුණා. රිය අනතුරු සංඛ්‍යාවද ඉහළ ගියා. පොලිසියෙන් කොපමණ ඇල්ලුවත්, දඩ ගැහුවත්, බොහෝ දෙනෙක් බීමතින් රිය පදවන එක නතර කරන්නේ නෑ. ඒක විශාල ප්‍රශ්නයක්. එයින් රිය පදවන කෙනා වගේම පාරේ යන අයත් විපතට වැටෙන්න පුළුවන්. මෙන්න මේ තත්ත්වයට යම් පිළියමක් හැටියට තමයි අපි "Drink drive" සේවාව පටන් ගත්තේ.’’ නවීන් ජයසිංහ මහතා තම සේවාව ගැන පැහැදිලි කළේය. මත්පැන් පානය කළ පසුවද බොහෝ දෙනෙක් සිතන්නේ දැනුදු තමන්ට ‘‘හොඳින්’’ රිය පැදවිය හැකි බවයි. එහෙත් මත්පැන් නිසා තමන් නිවැරදි සිහියක නැති බව ඔවුන්ට නොතේරේ. මත්පැන් හැම විටකම මනසේ ක්‍රියාකාරිත්වය අඩපණ කර, යහපත් රිය පැදවීමකට අවශ්‍ය මානසික සමබරතාව නැතිකර දමයි. එය මහමග අනතුරුවලට අත වනන තරම් කාරණයකි. බීමතින් රිය පැදවීම බොහෝ කලක පටන්ම අපට තිබෙන ප්‍රශ්නයකි. "Drink drive" සේවාව "LOMBC සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ්’’ ආයතනයේ කළමනාකර අධ්‍යක්ෂ බුද්ධික වල්ගම්පල මහතාගේ අදහසකි. ඔවුන් එය විධිමත් සේවාවක් බවට පත්කරන ලද්දේ අපේ රටේ බීමතින් රිය පැදවීම් සම්බන්ධයෙන් මාස අටක පමණ කාලයක් මුළුල්ලේ කළ අධ්‍යයනයකින් පසුවය. "Drink drive" සේවාව ක්‍රියාත්මක වන්නේ බස්නාහිර පළාත තුළ, විශේෂයෙන්ම කොළඹ නගරය මුල් කරගනිමිනි. අන්තර්ජාල මෘදුකාංගය හෝ දුරකථනය මගින් ඔවුන්ට ඇණවුමක් ලැබුණු පසුව, නිල අැඳුමින් සැරසුණු රියැදුරෙක් සහ සහායකයෙක් මෝටර් බයිසිකලයකින් තම සේවාදායකයා සිටින ස්ථානයට පිටත්ව යයි. ඉන්පසුව ඔහු මුණගැසී අවශ්‍යතාව විමසා සිටියි. තම ගනුදෙනුකරුවාට අවශ්‍ය සේවාව සැලසුම් කෙරෙන්නේ එතැන් සිටය. ‘‘අපි අපේ සේවාදායකයා යන්න ඕන කොහේටද කියලා විමසනවා. ඔහුගේ වාහනය, එහි ආදායම් බලපත්‍ර ආදී ලියකියවිලිත් සමග පරීක්ෂා කරලා බලනවා. අපි සේවාදායකයාව භාර ගන්නේ එයින් පසුවයි. "Drink drive" සේවාවේ මෙහෙයුම් කළමනාකරු වන මිලින්ද කරුණාරත්න මහතා පැහැදිලි කළේ ය. එයින් පසුව ඔවුහු තම සේවාදායකයා, ඔහුගේම වාහනයෙන් ගෙදරට ඇරලවීම ආරම්භ කරති. වාහනය පදවන්නේ "Drink drive" සේවාවෙන් පැමිණි රියැදුරාය. ඔහුගේ සහායකයා මෝටර් සයිකලයේ නැගී වාහනය පසුපසින් පැමිණෙයි. ඔවුන්ගේ ගමන "Drink drive" මෙහෙයුම් මැදිරිය මගින් ජංගම දුරකථන ඔස්සේ නිරීක්ෂණය කෙරේ. සේවාව සඳහා මුදල් අය කෙරෙන්නේ ගමනට අදාළ කිලෝ මීටර් ගණන සහ එයට ගතවන කාලසීමාව අනුවය. ගමන පිළිබඳ තොරතුරු රහසිගතව තබා ගැනීම සිරිතයි. "Drink drive" සේවාව ලබා ගන්නා බොහෝ දෙනෙක් රාත්‍රී කාලයට හොඳහැටි සප්පායම් වූවන්ය. ඔවුන්ගෙන් ඇතැමෙක් කොතෙක් බීමතින් සිටියද විනීතව හැසිරීමට වගබලා ගනිති. එහෙත් සමහරු විනීතව හැසිරෙන්නේ නැත. ‘‘බීපු මිනිස්සු ආම්බාන් කරන එක ලේසි වැඩක් නෙවෙයි.’’ යන්න පැරණි කියමනකි. එහෙත් "Drink drive" සේවාවේ අය එ් අභියෝගය භාර ගනිති. නවීන් ජයසිංහ මහතා පවසන අන්දමට, ඔවුන් වැඩිපුරම සේවා සලසන්නේ සවස 6.00ත්, අලුයම 5.00 ත් අතර කාලයේය. මේ සඳහා මෝටර් බයිසිකල් 120 ක බලඇණියක් ඔවුන් සතුව සිටිති. ඔවුන්ගේ රියැදුරන් බොහෝ යහපත් සේවා වාර්තාවක් ඇති අය වෙති. එසේම ප්‍රථමාධාර ආදී කටයුතු ගැනද පුහුණුවක් ලැබූවෝ වෙති. ‘‘අපි හැම රියැදුරෙකුටම, හැම සහායකයකුටම සති දෙකක පුහුණුවක් දෙනවා. විශේෂයෙන්ම ඉවසීම පුහුණු කරනවා. ඉවසීම නැතිව මේ සේවාව කරන්න අමාරුයි. ඒ වගේම ඉහළම විනයකුත් තියෙන්න ඕනෑ.’’ නවීන් ජයසිංහ මහතා කියයි. ඔවුන් "Drink drive" සේවාව ආරම්භ කළේ 2016 වසරේ දෙසැම්බර් මාසයේය. එදා පටන් මේ දක්වා ඔවුන් බීමත් පුද්ගලයන් ලක්ෂයකට පමණ සේවාව සපයා තිබේ. "Drink drive" රියැදුරන් තම කාර්යය අවසන් කරන්නේ සේවා දායකයා නිවසට ඇරලවා, ඔහු නිවසේ අයට භාරදීමෙන් පසුවය. ඒ සමගම සේවාදායකයාගේ වාහනයද නිවසේ අයට භාරදීම සිරිතය. මුල් කාලයේදී "Drink drive" සේවාව ලබාගත් සමහරු කොතෙක් බීමතින් සිටියේද යත්, තම නිවස කොහේ තිබෙනවාද කියා කීමට පවා අපොහොසත් වූහ. එයින් මහත් ගැටලු පැන නැගිණි. පසුව ඔවුහු "Drink drive" සාමාජික ක්‍රමයක් හඳුන්වා දුන්හ. එහි සාමාජිකත්වය ලබාගන්නා අයගේ පදිංචිය ආදී විස්තර දත්ත ගබඩාවකට රැස් කෙරිණි. දැන් ඉතින් එබඳු අය තමන් ඇරලවිය යුතු ස්ථානය අසුවල් තැන යැයි නොකීවද කමක් නැත. "Drink drive" සේවාව ඔවුන් නිවසටම ඇරලවන්නේය. බීමතින් සිටින අය නිවෙස්වලට ඇරලවීම, මහත් බරපතළ කටයුත්තකි. ඔවුන්ගේ බිරින්දෑවරුන් සහ පවුලේ අයගෙන් බැණුම් අසන්නට සිදුවීම, ඊට හේතුවයි. ‘‘පොවලා පොවලා මෙතැන තව ගෙනත් දාන්ඩත් එනවා’’ යැයි බැණ වදින කාන්තාවන්ද සිටිති. "Drink drive" සේවාවේ රියැදුරන්ද ඇතැම් විට මෙබඳු අවස්ථාවලට මුහුණ දෙති. ‘‘ඒත් සමහර නෝනලා මහත්තයාව ආරක්ෂිතව ගෙනාවා කියලා ස්තුති කරන අවස්ථාත් තියෙනවා.’’ ඔවුහු කියති. සතියේ දින හත ගත්විට "Drink drive" සේවාවට වැඩිම ඇණවුම් ලැබෙන්නේ බ්‍රහස්පතින්දා හා සිකුරාදා රාත්‍රී කාලයටය. ඇතැම් සිකුරාදාවක ඇණවුම් 100-200 පමණ ලැබේ. මෙහි තේරුම බ්‍රහස්පතින්දාට සහ සිකුරාදාට කොළඹ රට්ටුන්ගේ ‘‘සෙට්වීම්’’ වැඩි බවයි. එහෙත් ඉරිදා රාත්‍රියට ලැබෙන්නේ අඩු ඇණවුම් ප්‍රමාණයකි. ‘මිනිස්සු ඉරිදටත් බොනවා. හැබැයි ගෙවල්වල. අපිට ඇණවුම් නොඑන්නේ ඒ නිසයි. අනෙක සඳුදා වැඩට යන්නත් තියෙනවානේ.’’ "Drink drive" සේවාවේ උදවිය කියති. "Drink drive" සේවාව ලබා ගන්නා බොහෝ දෙනෙක් ඉතා වටිනා වාහන හිමි, අතමිට සරුසාර පුද්ගලයන්ය. ඔවුන් අත මුදල්හදල්, රන් ආභරණ පවා තිබේ. "Drink drive" රියැදුරන් ඒ වාහන පදවා දෙන්නේ බොහෝම සැලකිල්ලෙනි. සේවාදායකයන් සතු මුදල් පසුම්බිය ආදී දේවල්ද ඔවුහු ප්‍රවේශමින් ගෙනගොස් දෙති. සමහර මහත්තුරුන්ට, ගෙදර යන අතරතුරදී තව තවත් බොන්නට ඕනෑය. "Drink drive" සේවාවේදී එයට තහංචියක් නැත. ‘‘ඒ වෙලාවට, ගනුදෙනුකාර මහත්තයා තමයි අපේ බොස්. එයාගේ වාහනේ. එයාගේ පෙට්‍රල්. අපට ගාස්තුව ගෙවන්නෙත් එයා. ඉතින් අතරමග බැහැලා මොනවා කළත් ඒක අපට ප්‍රශ්නයක් නෑ. හැබැයි සීමාව ඉක්මවා ගියොත් ඒ කාලය සඳහා ‘‘වේටින්’’ ගාස්තුව වැඩිවෙනවා’’ නවීන් ජයසිංහ මහතා කී​වේය. කොළඹ විවාහ මංගල උත්සව සහ බිග්මැච් පැවැත්වෙන කාලයට "Drink drive" සේවාවට වැඩ වැඩිවෙයි. බීමත් මහත්වරු පමණක් නොවේ. බීමත් නෝනලාද ඔවුන්ගේ සේවය ඇණවුම් කරන අවස්ථා හිඟ නැත. හැන්දෑ ජාමයට කොළඹ පිට්ටනිවල ව්‍යායාම කිරීමෙන් වෙහෙසට පත්වුණු සමහර මලල ක්‍රීඩක ක්‍ර්‍රීඩිකාවන්ද මෙම සේවාව ඇණවුම් කිරීමට පුරුදුව සිටිති. "Drink drive" සේවාවේ මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නාවල සහ පැලවත්තේය. අන්තර්ජාලය ඔස්සේ එන ඕනෑම කෙනකුට ඔවුන්ගේ සේවාව ලබාගත හැකිය. එහෙත් නීතිවිරෝධී කිසිදු ප්‍රවාහන කටයුත්තකට ඔවුන් මැදිහත් වන්නේ නැත. කොළඹ විවාහ මංගල උත්සව සහ බිග්මැච් පැවැත්වෙන කාලයට "Drink drive" සේවාවට වැඩ වැඩිවෙයි. බීමත් මහත්වරු පමණක් නොවේ. බීමත් නෝනලාද ඔවුන්ගේ සේවය ඇණවුම් කරන අවස්ථා හිඟ නැත. හැන්දෑ ජාමයට කොළඹ පිට්ටනිවල ව්‍යායාම කිරීමෙන් වෙහෙසට පත්වුණු සමහර මලල ක්‍රීඩක ක්‍ර්‍රීඩිකාවන්ද මෙම සේවාව ඇණවුම් කිරීමට පුරුදුව සිටිති. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර
 

More News..