brand logo

හේලි චිත්‍රපටයක් නොවේ ටෙලි නාට්‍යයක්

30 November 2019

හේලි විද්‍යාත්මක ප්‍රබන්ධ ගණයේ ටෙලි නාට්‍යයක්. ප්‍රේමාන්විත ත්‍රාසජනක හා ක්‍රියාදාම ලක්ෂණ විදහාපාමින් මෙම ටෙලි නාට්‍යය හේලී නම් තරුණියක් වටා ගොඩනැගෙයි. ජාත්‍යන්තර දේශපාලනයේ බල අරගලය වෙනුවෙන් එක් එක් රටවල රහස් තොරතුරු ලබා ගැනීමේ අරමුණින් පුහුණු කෙරෙන මෙම තරුණිය මුහුදු මගින් වෙනත් රටකට රැගෙන යයි. නමුත් මිරිස්ස වෙරළ තීරය ආසන්නයේදී ඇය රැගත් යාත්‍රාව අනතුරකට පත්වෙයි. අනතුරු වළක්වන යාත්‍රාවේ සිටින හේලී නම් තරුණිය ලංකාවේ මුහුදට ගොඩගසයි. පරිසර ඡායාරූප ශිල්පියෙක් වන විහෙන් සහ මිතුරු දෙපළ මුහුදට යන්නේ කොරල් නැරඹීමට හා ඒ සම්බන්ධ ගවේෂණයකටය. ඔවුන්ට අනපේක්ෂිත ලෙස හේලීව මුණගැසෙයි. හේලීව නිර්මාණය කළ පිරිස හා දත්ත ලබා ගැනීම වෙනුවෙන් උත්සුක වෙන පිරිස හේලීව සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරයි. නමුත් තමා ළඟ සිටින හේලීව ඔවුන්ගෙන් බේරා ගැනීමට විහේන් දැඩි පරිශ්‍රමයක් යොදයි. මේ ප්‍රශ්න හා ගැටුම් අතරේ හේලී සහ විහේන් අතර ප්‍රේමයක් ගොඩනැගෙයි. ඉන්පසු හේලීව ආරක්ෂා කිරීමට ගෙන යන අරගලය මුළු නාට්‍ය පුරාම ඔබව විවිධ ඉසව් කරා රැගෙන යයි. එමී කඩේෂියන් ඇනස්ටේෂියා හේලී ලෙස චරිතය නිරූපණය කරයි. නෙහාරා පීරිස් සටන් කාරියගේ චරිතයකට පණ දෙයි. අශාන් ඩයස් රඟපාන්නේ මෙහි ප්‍රධාන දුෂ්ටයාගේ චරිතයයි. හේලී නම් තරුණියගේ ප්‍රේමවන්තයා ලෙස සචිත්‍ර වීරසිංහ දායකත්වය ලබාදෙයි. අනෙක් ප්‍රධාන දුෂ්ටයා වන්නේ එංගලන්තයේ සිට පැමිණ ස්ටෙපාන්ය. ඔහු ප්‍රථම වරට ශ්‍රී ලාංකීය ටෙලි නාට්‍යයකට දායක වන එංගලන්ත නළුවෙකි. අවි හා මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නිරත වන දකුණේ පාතාල නායකයා ලෙස හර්ෂ තෙන්නකෝන් හේලී සඳහා දායකත්වය ලබාදෙයි. මෙම ප්‍රධාන චරිතවලට අමතරව හර්ෂිකා රත්නායක, මිහිර සිරිතිලක, චමීර චානක, දනුෂ්ක රත්නායක, නිලූෂී පවන්යා හා සුදේක්ෂා සමාධි හේලී තුළ අපූරු රංගනයකින් දායක වෙයි. ධනුෂ්ක රත්නායකගේ හිතේ ජනිත වූ කතාව සුසිත් රුවන් අපූරුවට හේලී ලෙස තිර රචනය ලියා තිබේ. ජාත්‍යන්තර මට්ටමේ ටෙලිනාට්‍ය අත්දැකීමක් ඔබට තිළිණ කරන්න මෙහි මූල්‍යමය දායකත්වය ලබාදෙමින් හේලී නිෂ්පාදනය කරන්නේ දයාන් දිනේෂ් පෙරේරාය. ටෙලිනාට්‍ය කලාවේ ප්‍රේක්ෂකයා අලුත් ඉසව්වකට ගෙන යන දනුෂ්ක රත්නායක හේලී තුළින් බොහෝ දෙනෙක්ට අලුතින් සිතන්නට යමක් තිළිණ කර ඇත. මෙය ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනයට හේතුවන බව නම් නොඅනුමානයි. ‌ මේ සියලු සංකලනයන්ගේ එකතුවෙන් දෙසැම්බර් 2 වැනිදා රාත්‍රී 9.30ට දෙරණ නාලිකාව ඔස්සේ ඔබට ‘හේලී’ නරඹන්න පුළුවන්. ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
 

More News..