brand logo

හේමසිරි සහ පූජිත්ගේ බැංකු තොරතුරු රහස් පොලීසියට ලබාදෙන ලෙසට සමාගම් 80කට නියෝග

03 October 2019

ඉකුත් පාස්කු ඉරු දින ජාතික තව්හිත් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ස්ථාන කිහිපයක සිදුකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව පිළිබඳව බුද්ධි තොරතුරු ලැබී තිබියදී එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැර මිනීමැරීම් සිදුකළ බවට සැක කෙරෙන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු රහස් පොලිසිය වෙත විමර්ශන කටයුතු සඳහා ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විසින් අද (03) දිවයිනේ පිහිටි බැංකු හා මූල්‍ය සමාගම් 80 කට නියෝග කරන ලදී. ඊට අමතරව හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරුන්ගේ දුරකථන ඇමතුම් පිලිබඳව විස්තර වාර්තාවක් රහස් පොලිසිය වෙත ලබාදෙන ලෙස ද මහේස්ත්‍රාත්වරිය විසින් දුරකතන සමාගම් කීපයකට නියෝග කළාය. මෙම පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී රහස් පොලිසිය වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා විසින් කරනු ලැබූ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝග සිදු කරන ලදී. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට අදාළව තවදුරටත් පරීක්ෂණ සිදු කෙරෙන අතර ඒ සම්බන්ධයෙන් මේවනවිට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බව සඳහන් කළේය. ඊට අමතරව තවත් පුද්ගලයින් 16 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලිසිය වෙත උපදෙස් ලබාදී තිබෙන බවත් ඒ යටතේ කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගෙන්ද ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවත් රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය. ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට තවත් උසස් පොලිස් නිලධාරීන් කිහිප දෙනකු ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර ලෙස නීතිපතිවරයා විසින් රහස් පොලීසිය වෙත උපදෙස් ලබාදී තිබෙන බවද රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණය හමුවේ කරුණු අනාවරණය කර සිටියේය. මහේස්ත්‍රාත්වරිය -එම සැකකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන්නේ කුමන පදනමක් යටතේද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා - මිනී මැරීම් චෝදනා යටතේ ස්වාමීනි, මහේස්ත්‍රාත්වරිය - මිනිමැරුම් චෝදනා යටතේ විමර්ශන සිදුකරන්නේ නම් සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරීක්ෂාවට ලක් කරන්නේ ඇයි.? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා- ස්වාමීනි, මෙම ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව තොරතුරු ලැබී තිබියදී එය වලක්වා ගැනීමට සැකකරුවන් ක්‍රියා නොකළේ චේතනාත්මකව ද යන සැකය අප තුළ ඇති වී තිබෙනවා. ඒ සඳහා ඔවුන්ට මූල්‍යමය වරප්‍රසාදයක් ලැබී තිබේ ද? යන සැකයත් මතුවී තිබෙනවා. ඒ නිසා මීට අදාළව විමර්ශන සිදුකිරීමටයි බැංකු ගිණුම් පරික්ෂා කිරීමට අවසර ඉල්ලා සිටින්නේ. මෙහිදී මහේස්ත්‍රාත්වරිය කරුණු දක්වමින් සැකකරුවකු සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට හැකියාව තිබෙන බව ප්‍රකාශ කළ අතර චෝදනා ඉදිරිපත් කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කිරිම අවශ්‍ය බවත් සඳහන් කර සිටියාය. අනතුරුව පැමිණිල්ල දෙසැම්බර් මස 05 වනදා කැඳවීමට නියම කෙරුණු අතර එදින පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා විසින් රහස් පොලිසිය වෙත නියෝග කරනු ලැබීය. අධිකරණ වාර්තාකරු
 

More News..