brand logo

හේමසිරි සහ පුජිත් ඇපමත මුදා හැරීමට එරෙහිව නීතිපති ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ කරුණු තහවුරු කිරීම කල් යයි

23 July 2019

ඉකුත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශය කිහිපයක එල්ල කළ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මිනීමැරීම ඇතුළු රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා කිහිපයක් මත සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇප මත මුදා හරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයක් වහාම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස තමන් අධිකරණයෙන් ඉල්ලා සිටින බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා ඊයේ (23) කොළඹ මහාධිකරණය වෙතින් ඉල්ලා සිටියේය. නීතිපතිවරයා විසින් ගොනු කරනු ලැබ තිබෙන මෙම ප්‍රතිශෝධන පෙත්සම ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු වවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඔවුන් වෙනුවෙන් පෙනී සිටි අනුජ ප්‍රේමරත්න සහ අනුර මැද්දෙගොඩ යන ජනාධිපති නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින තම සේවාදායකයින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා මේ දක්වා නොතීසි ලැබී නොමැති වුවද ඔවුන් අධිකරණය හමුවේ පෙනී සිටින බව දන්වා සිටියහ. පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් ඉදිරිපත් කරමින් තමාට ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයකට සහභාගි වීමට නියමිතව ඇති හෙයින් මෙම පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක කැඳවන මෙන් ඉල්ලා සිටියේය. ඊට පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා විරෝධය පළ කළේ නැත. මෙහිදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා විසින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා වෙත ප්‍රශ්න කිහිපයක් යොමු කර ලදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා - මෙම පෙත්සමෙන් ඔබ කිසියම් අතුරු ආඥාවක් අපේක්ෂා කරනවාද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා - ඔව්, ස්වාමීනි, මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශිත ඇප නියෝගය අත්හිටුවීමේ අතුරු ආඥාවක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා තිබෙනවා. විනිසුරු විකුම් කළුආරච්චි මහතා - මෙම පෙත්සමෙන් ඉල්ලා සිටින අවසාන සහනය සහ අතුරු ආඥාවෙන් ඔබ ඉල්ලා සිටින සහනය යන දෙකම එක හා සමානයි නේද? රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා - බැලූ බැල්මට ම එසේ පෙනෙන්න පුළුවන් ස්වාමිනි. නමුත් මේ පිළිබඳව මා පෙත්සම් විභාගයේදී පුළුල්ව කරුණු දැක්වීමට අපේක්ෂා කරනවා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම අගෝස්තු 01 වන දා සිදුකිරීමට තීන්දු කළේය. නීතිපතිවරයා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර සිටින පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටින හෙයින් ඔවුන් වෙනුවෙන් නොතීසි නිකුත් කිරීමක් සිදු නොකරන බවද මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේය. නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කරන ලද ප්‍රතිශෝධන පෙත්සම තුළින් හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන සැකකරුවන් ඇප මත මුදා හැරීමට අදාළ නියෝගය නිකුත් කිරීමේදී මහේස්ත්‍රාත්වරිය නීතිිය වැරැදි ලෙස අර්ථකථනය කරමින් එම නියෝගය සිදු කර ඇති බව පෙන්වා දී තිබේ. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර නොගැනීම විධිමත් නොවන ක්‍රියාවක් බවට මහේස්ත්‍රාත්වරිය එම නියෝගයේ සඳහන් කර තිබීම නීති විරෝධී සහ නීතිය වැරදි ලෙස වටහා ගැනීමක් බව නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් පෙන්වා දී තිබේ. සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගත යුතු බවට නෛතික වගකීමක් නොමැති බවද නීතිපතිවරයා ඒ තුළින් සඳහන් කර තිබේ. "බී" වාර්තාවේ සඳහන් කර තිබෙන මිනීමැරුම් චෝදනා ඇතුළු සෙසු චෝදනා සම්බන්ධයෙන් මෙම සැකකරුවන්ට එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී තිබෙන අවස්ථාවක ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකියාවක් තිබෙන බවත් එසේ අත්අඩංගුවට ගැනීමට පෙර ඔවුන්ගේ ප්‍රකාශ ලබා ගත යුතු බවට කිසිදු නෛතික වගකීමක් නොමැති බවද එම ප්‍රතිශෝධන පෙත්සමෙන් සඳහන් කර ඇත. මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දී සැකකරුවන්ට එරෙහිව එල්ලවී තිබූ මිනීමැරුම් චෝදනා ප්‍රතික්ෂේප කිරීමට මහේස්ත්‍රාත්වරිය ගත් තීරණය නීතිවිරෝධී බව පෙන්වා දෙන නීතිපතිවරයා ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත තොරතුරු ලැබී තිබියදී සැකකරුවන් විසින් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම හරහා විශාල ජීවිත හා දේපල හානියක් සිදු වූ බවත් ඒ තුළින් මොවුන් මිනීමැරීමේ නොමැති වරද සිදු කර ඇති බවද අදාළ පෙත්සමෙන් සඳහන් කර තිබේ. මේ හේතුවෙන් සැකකරුවන් දෙදෙනා වෙත එල්ල කර තිබූ මිනීමැරුම් චෝදනා බැහැර කිරීම නීති විරෝධී, අයුක්ති සහගත, අසාධාරණ හා අත්තනෝමතික බවද එම ප්‍රතිශෝධන පෙත්සමේ සඳහන් කර තිබේ. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනාට ලැබුණු බුද්ධි තොරතුරු අවිනිශ්චිත තොරතුරු ලෙස මෙම නියෝගය මගින් මහේස්ත්‍රාත්වරිය විසින් සඳහන් කර තිබුණත් ඒ තුළින් මහේස්ත්‍රාත්වරිය නිශ්චිත බුද්ධි තොරතුරු අනිසි සැහැල්ලුවට ලක් කරමින් කරුණු වරදවා වටහා ගෙන අදාළ නියෝගය සිදු කර ඇති බව එම ප්‍රතිශෝධන පෙත්සමින් චෝදනා කර තිබේ. පාස්කු ඉරු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් ලැබුණු තොරතුරු වලට අනුව කටයුතු කරමින් මහජනතාව දැනුවත් කිරීම, ආගමික නායකයින් දැනුවත් කිරීම වැනි කාරණා සැකකරුවන්ට ඉටු කිරීමට හැකියාව තිබුණද ඒවා ඔවුන් විසින් පැහැර හැර ඇති බවට නීතිපතිවරයා විසින් ඉදිරිපත් කළ කරුණු ද මෙම නියෝගය තුළින් මහේස්ත්‍රාත්වරිය සැහැල්ලුවට ලක් කරමින් වැරදි ලෙස වටහා ගනිමින් මෙම නියෝගය ප්‍රකාශයට පත් කර ඇතැයි ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් තවදුරටත් පෙන්වා දී ඇත මෙම ඇප නියෝගය ප්‍රකාශයට පත් කිරීමේ දී ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් නඩු තීන්දු කිහිපයක් පාදක කරගෙන තිබුණ ද එම නඩු තීන්දු කිසිවක මිනීමැරුම් චෝදනා එල්ලවී තිබෙන සැකකරුවන්ට ඇප නියම කළ හැකි බවට කිසිදු සදහනක් නොමැති බව ද නීතිපතිවරයා සිය පෙත්සමෙන් සඳහන් කර තිබේ. මෙම සැකකරුවන්ට ඇප ලබාදීම සඳහා නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතු බවට තමන්ට කිසිදු බැඳීමක් නොමැති බව මහෙස්ත්‍රාත්වරිය විසින් සිය තීන්දුව සටහන් කර තිබුනත් නීතිපතිවරයා කිසිදු අවස්ථාවක මහේස්ත්‍රාත්වරියට උපදෙස් ලබා දීමක් සිදු නොකළ බවත් විමර්ශන නිලධාරීන්ට අවශ්‍ය උපදෙස් පමණක් ලබාදීමට කටයුතු කර ඇති බව ද නීතිපතිවරයා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. ඒ අනුව මහේස්ත්‍රාත්වරිය විසින් සිදුකර ඇති මෙම ඇප නියෝගය නීතියට පටහැනි හෙයින් එය බලරහිත කරන ලෙසත් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබා දෙන තුරු එම ඇප නියෝගය ක්‍රියාත්මක වීම අත්හිටුවීමේ අතුරු ආඥාවක් නිකුත් කර ලෙස නීතිපතිවරයා සිය පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබුණි
 

More News..