brand logo

හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර‌‌ ඇප මත මුදා හැරීමේ තීන්දුවේ දෝෂයක් නෑ

19 September 2019

පාස්කු ඉරුදින ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර ඉලක්ක කර ගනිමින් පමණක් සිදු කෙරෙන බවත් ඔවුන් ඇප මත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගය නීතිමය වශයෙන් දෝෂ සහගත නොවන බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ(19) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. හේමසිරි ප්‍රනාන්දු සහ පූජිත් ජයසුන්දර යන මහත්වරු ඇප මත මුදාහරිමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගයක් ප්‍රතිශෝධනය කර ඔවුන් නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලමින් නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ ප්‍රතිශෝධන පෙත්සම ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ යළි විභාගයට ගත් අවස්ථාවේදී එම පෙත්සමේ වග උත්තරකරුවකු ලෙස නම්කර තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් නොසැලකිලිමත් ලෙස රාජකාරිය පැහැර හැරීම හේතුවෙන් පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු වූ බවට තම සේවාදායකයා වෙත එල්ල කෙරෙන චෝදනාව සනාථ කිරීමට ඉවහල් වන කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොතිබූ බව සඳහන් කළේය. "ස්වාමීනි, පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලබන පුද්ගලයකු සැකකරුවකු වශයෙන් අධිකරණය විසින් පිළිගනු ලබන්නේ ඔහුට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි තිබේ නම් පමණයි. එසේ සාක්ෂි නොමැතිව පොලිසිය විසින් පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් පමණින් ඔහු සැකකරුවකු වශයෙන් අධිකරණය පිළිගන්නේ නැහැ. රාජකාරිය සාපරාධි ලෙස පැහැර හැරීම නිසා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදු වූ බවට තම සේවාදායකයා මත චෝදනාවක් එල්ල කර තිබුණත් ඒ බව තහවුරු කෙරෙන කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ගොනු කළ "බී" වාර්තාවේ සඳහන් කර නැහැ. මිනීමැරීම් චෝදනාවක් එල්ල කිරීමට චේතනාන්විත නොකර හැරීමක් හේතුවෙන් එම අපරාධය සිදු වූ බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කළ යුතුයි. එහෙත් මාගේ සේවාදායකයා චේතනාන්විතවම රාජකාරිය පැහැර හැර තිබෙන බවට කිසිදු සාක්ෂියක් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නැහැ. මෙම වාතාවරනය මතයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මාගේ සේවාදායකයා ඇපමත මුදා හරිනූ ලැබූවේ. එම ඇප නියෝගය තුළ නීතිමය වශයෙන් කිසිදු දෝෂ සහගත තත්ත්වයක් දකින්නට නැහැ. ඒ නිසා නීතිපතිවරයා ඉල්ලා සිටින ආකාරයට එම ඇප නියෝගය ප්‍රතිශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් මතු වන්නේත් නැහැ" යනුවෙන් ප්‍රකාශ කළ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා මහාධිකරණයට අවශ්‍ය නම් තම සේවාදායකයාට විකල්පයක් වශයෙන් නව ඇපයක් නියම කිරීමට හැකියාවක් තිබෙන බවද සඳහන් කර සිටියේය. වගඋත්තරකාර පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු දක්වමින් රාජ්‍ය බුද්ධි සේවය ඍජුවම ආරක්ෂක අමාත්‍යවරයාට වගකියන ආයතනයක් බව සඳහන් කර සිටියේය. " ස්වාමීනි ,රාජ්‍ය බුද්ධි සේවය සෘජුවම ආරක්ෂක අමාත්‍යවරයා යටතේ පවතින ආයතනයක්. එම ආයතනය වගකියන්නේ ආරක්ෂක අමාත්‍යවරයාටයි. පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව මුලින්ම තොරතුරු ලැබුණා යැයි කියන්නේ අප්‍රේල් මස 4 වනදා රාජ්‍ය බුද්ධි සේවය වෙත. එහෙත් අප්‍රේල් මස 09 වනදා පැවති බුද්ධි සමාලෝචන රැස්වීමේදී රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා විසින් එල්ල වීමට නියමිත බව කියන ප්‍රහාරය පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර නැහැ. රාජ්‍ය බුද්ධි සේවය තුළ දොළොස් දහසකට අධික පිරිසක් සම්බන්ධ වී සේවය කරනවා. ඒ සඳහා විශාල මුදලක් ද වැය කෙරෙනවා. එහෙත් ජාතික තව්හීත් ජමාත් සංවිධානය විසින් සිදුකළ මෙම ප්‍රහාරය පිළිබඳව නිශ්චිත තොරතුරක් අනාවරණය කර ගැනීමට රාජ්‍ය බුද්ධි සේවය අසමත් වූ බව කිව යුතුයි. මෙවැනි ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට ජාතික බුද්ධි ප්‍රධානියා විසින් තම සේවාදායකයා වෙත ලිපියකින් දැනුම්දී තිබූණා. ලිපිය ලැබුණු විගස පොලිස්පතිවරයා වශයෙන් මාගේ සේවාදායකයා තමන් යටතේ සිටින ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරු සිව් දෙනකු දැනුවත් කොට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දුන්නා. " යනුවෙන් සඳහන් කර සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා තම සේවාදායකයා ඇපමත මුදා හරිමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් දුන් නියෝගය නීතිමය වශයෙන් දෝෂ සහගත නොවන බව අවධාරණය කළේය. වැඩිදුර විභාගය අද (20)දිනට කල් තැබුණි. - අධිකරණ වාර්තාකරු
 

More News..