brand logo

හේමසිරිගේ සහ පූජිත්ගේ ඇප අයදුම්පත් විභාගයට දින දෙයි

27 November 2019

ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල කළ මරාගෙන බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් සාපරාධී ලෙස රාජකාරිය පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් විසින් තමන්ව ඇපමත මුදා හරිින මෙන් ඉල්ලා ගොනු කර තිබෙන ඇප පෙත්සම් දෙසැම්බර් මස 17 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (27) නියෝග කළේය. හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා විසින් ගොනු කර තිබෙන ඇප අයදුම්පත අද (27) දින සලකා බැලීම සඳහා කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳීගේ මහතා ඉදිරියේ කැඳවන ලදී. එහිදී පෙත්සම විභාගයට ගැනීමට අවසර දුන් විනිසුරුවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින නීතිපතිවරයා, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ වරයා, රහස් පොලිසියේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා යන පාර්ශවයන්ට විරෝධතා තිබේනම් ඒවා දෙසැම්බර් මස 17 වැනිදා ඉදිරිපත් කරන්නැයි දන්වා නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය. අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කර සිටින තමන්ව ද ඇප මත මුදාහරින ලෙස ඉල්ලමින් අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින්ද ඇප පෙත්සමක් ඉදිරිපත් කර තිබෙන පෙත්සම ද ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා හමුවේ සලකා බලන ලදී. අනතුරුව පෙත්සම දෙසැම්බර් මස 17 වන දා විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරු තිලකරත්න මහතා එදින විරෝධතා තිබේ නම් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමට නියෝග කළේය. ජාතික තවුහිද් ජමාත් සංවිධානය විසින් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාව වලක්වා ගැනීමට ක්‍රියා නොකිරීම තුළින් රාජකාරිය සාපරාධී ලෙස පැහැර හැර මිනීමැරීම සම්බන්දයෙන් සැකපිට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. දැනට සති හතකට ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ පසුවන තමන්ව ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔවුන් කොළඹ මහාධිකරණය වෙත මෙම ඇප අයදුම්පත් ඉදිරිපත් කර තිබේ. අධිකරණ වාර්තාකරු
 

More News..