brand logo

හෙල්මට් දාගෙන - කුඩ අල්ලගෙන ඉගෙන ගන්න රත්නපුරේ හොඳම පාසලේ සිසු සිසුවියන්

15 July 2019

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙලේ පාසලක ප්‍රාථමික අංශයේ දරු දැරියන් ආරක්ෂක හිස් වැසුම් පැලදගෙන අධ්‍යාපනය හදාරන බව ඔබ අසා තිබේද ? මෙම පාසල පිහිටා තිබෙන්නේ රත්නපුර පැල්මඩුල්ල ප්‍රධාන මාර්ගයට යාබද ලෙල්ලොපිටිය ප්‍රදේශයේය. රත්නපුර අධ්‍යාපන කලාපයේ පැල්මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයට අයත් ලෙල්ලොපිටිය රාහුල විදුහලේ ප්‍රාථමික අංශයට මෙම ඉරණම අත්ව ඇත. වසර ගණනාවක් පැරණි ගොඩනැගිල්ලක පවත්වාගෙන යන ප්‍රාථමික අංශය සහිත ගොඩනැගිල්ල අබලන්වීම නිසා වර්ෂා කාලයේදී සිසු දරු දැරියන් හා ඔවුන්ගේ පොත් පත් තෙමීම වහලය දිරා ඇති නිසා හා අබලන් බව නිසා පවතින අනාරක්ෂිත තත්ත්වය සිසුන් මෙලෙස "හෙල්මට්" ආරක්ෂක හිස් වැසුම් ඇදගෙන ඉගෙනීමට හේතුවයි. වසර ගණනාවක් පැවති ප්‍රාථමික අංශය රජයේ ප්‍රතිපත්ති මස වසා දැමීමෙන් පසුව මෙම පාසල යලි ආරම්භ කලේ 2016 වසරේදීය. මෙම ප්‍රාථමික අංශය තුල 1 වසර සිට 5 වසර දක්වා පන්ති 5ක් සදහා ඉගැන්වීම් සිදු කරනු ලබයි. පංති 7ත් ක්‍රියාත්මක කරවීමේ අවශ්‍යතා තිබුනත් ඊට විවිධ අවහිරතා පවතී. පංති කාමරවල පවතින විවිධ අපහසුතාවයන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල පංති කාමරවලින් බැහැරව අධ්‍යාපනික කටයුතු සිදුකරනු ලබන අවස්ථාද එමට පවතී. කෙසේ වූවත් ලෙල්ලෝපිටිය රාහුල විද්‍යාලයේ පවතින මෙම ගැටළුව සම්බන්ධයෙන් දෙමාපියන් ද දැඩි කල කිරීමටත් අපහසුතාවටත් පත්ව සිටි. තම දරුවන්ගේ අධ්‍යාපනය කඩා වැටීම හා ආරක්ෂාවට පවතින බාධාවන් නිසා දරුවන් මෙන්ම දෙමාපියන්ද මානසික පීඩනයට පත්ව ඇත. දැනට දරුවන් අධ්‍යාපනය හදාරණ ගොඩනැගිල්ල අබලන් තත්ත්වයේ පවතින බැවින් හා වර්ෂා දිනවල අඛන්ඩව සිසු දරුවන් තෙමෙන බැවින් බොහෝ දරුවන් කුඩද ඉහලගෙන පංතිවල සිටී. අබලන්ව පවතින ගොඩනැගිලි දෙමාපියන්ගේ ශක්තියෙන් බාල්ක දමා කඹවලින් ගැටගසා සකස් කල නමුත් එය නිශ්චිත පිලියමක් නොවන බව පාසල් දරුවන්ගේ දෙමාපියන් සදහන් කරයි. ඊට හේතුව වී ඇත්තේ ඒ තරමටම මෙම ගොඩනැගිල්ල දිරාපත්ව තිබීමය. කෙසේ වූවත් ලෙල්ලොපිටිය රාහුල ප්‍රාථමිකය සදහා අවම වශයෙන් පන්ති කාමර 10ක ගොඩනැගිල්ලක් අත්‍යාවශ්‍යය. මේ සම්බන්දයෙන් දෙමව්පියන් වෙනුවෙන් අදහස් දැක්වූ සමන්ත මහතා පැවසුවේ "අපි අපේ දරුවන් වෙනුවෙන් මෙම පාසලට අත්ව ඇති ඉරනම ගැන අදාල බලධාරින්ට කිව්වා නමුත් අපට මෙතෙක් ප්‍රතිචාරයක් ලැබිලා නැහැ. මේ පාසලට ලගම පාසල හොදම පාසල යටතේ නව ගොඩනැගිලි ලබාදී සංවර්ධනය කරන බව සදහන් කරමින් ඒවායේ සැලසුම් පවා සකස් කර ඇති බව අපට කිව්වා ඒවා අපිව රවටන්න කියපුවා. ලගම පාසල හොදම පාසල වෙනුවට අපට තියෙන්නේ ලගම පාසල තෙමෙන පාසල අපේ දරුවෝ පංතියේ ඉන්නේ හෙල්මට් දාගෙන ඉගෙන ගත්තත් ඕනි ලමයින්ගේ ජීවිත රැකෙන්නත් ඕනි ඉතින් අපිට පුළුවන් විදිහට අපි ළමයින්ගේ ඔලුව බේරගන්නවත් උත්සාහ කළා. මේ ගැන වගකිවයුත්තන් මොනවා හෝ කරලා දුන්නොත් ලොකු පිනක්" යනුවෙනි. රංජිත් ඉලේපෙරුම - රත්නපුර
 

More News..