brand logo

හෙරෝයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්න කරයි

25 December 2018

හෙරෝයින් මත් කුඩු කිලෝ ග්‍රෑම් 01 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරුව මෙම මස 28 වැනිදා දක්වා රදවාගෙන ප්‍රශ්ණ කරන ලෙස මාරවිල මහේස්ත්‍රාත් සිරිමෙවන් චන්ද්‍රරත්න මහතා මාරවිල පොලීසියට නියෝග කරන ලදි. පසුගිය 24 වැනිදා සවස මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට මෙම නියෝගය නිකුත් කරන ලදි. පසුගිය 23 වැනිදා රාත්‍රී 10.00 ට පමණ මාරවිල පොලිස් වසමේ දෙමටපිටිය ප්‍රදේශයේදී සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.28 හැවිරිදි සැකකරු වෙන්නප්පුව - ශාන්ත ආනාපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සැකකරුව පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිතින් ඇසුරුමක ඔතා තිබූ හෙරෝයින් පාර්සලය ඔහු සතුව තිබී ඇත. විදේශීය රටකින් මෙම පාර්සලය ගෙන්වා ඇති බවටත්,මෙහි ඇත්තේ පිරිසිදු හෙරෝයින් බවට වූ මුද්‍රාවක්ද එහි දක්නට ඇත. කිසියම් අයෙකු විසින් සැකකරුට මෙම හෙරෝයින් පාර්සලය ගෙනවිත් තවත් අයෙකු වෙත බාර දීමට උපදෙස් ලබා දී ඇති බව පොලීසිය කියයි. පාර්සලය ගෙනවිත් බාර දුන්නේ කව්ද?සැකකරු එය රැගෙන යමින් සිටියේ කාට බාර දීම සදහා දැයි යන්න විමර්ශණය කරන බව පොලීසිය කියයි. නත්තල් සහ එළඹෙන අළුත් අවුරුදු සමග කුඩා ඇසුරුම් වල අසුරා බෙදා හැරීම සදහා මෙම හෙරෝයින් මත් කුඩු තොගය ගෙනවිත් ඇති බවට විශ්වාස කරන බවද පොලීසිය කියයි. මාරවිල මූලස්ථාන පොලිස පරීක්ෂක එස්.පී.එදිරිසිංහ,පොලිස් පරීක්ෂක සංජීව,උප පොලිස් පරීක්ෂකවරුන් වන පෙරේරා,ධර්මකීර්ති ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර ඇත. පුත්තලම - ජුඩ් සමන්ත
 

More News..