brand logo

හෙරොයින් ජාවාරම්කරුවෙකුට කොළඹ මහාධිකරණයෙන් මරණ දඩුවම

21 August 2019

2007 වසරේ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 51.30 ක් ත්‍රිරෝද රථයක් තුළ සඟවාගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පතිරගේ දොන් නිශාන්ත පෙරේරා නැමැති ත්‍රිරෝද රථ රියැදුරෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් අද (21) මරණීය දණ්ඩනය නියම කරනු ලැබීය. 2007 වසරේ නොවැම්බර් මස 29 වනදා කොළඹ, මට්ටක්කුලිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් තුළ හෙරොයින් ග්‍රෑම් පනස් 51.30 ක් සඟවාගෙන ප්‍රවාහනය කර ජාවාරම් කිරීමේ චෝදනාව මත මෙම විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබිණි. දීර්ඝ නඩු විභාගයකින් පසුව ඊයේ තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබූ කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විත්තිකරු විසින් හෙරොයින් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීම යන කටයුතුවල නිරත වී ඇති බව සනාථ කෙරෙන සාක්ෂි නඩු විභාගයේ දී ඉදිරිපත් වී තිබෙන බව සඳහන් කළේය. නඩු විභාගයේදී විත්තිකරු විසින් ඉදිරිපත් කරනු ලැබූ විත්තිවාචකයද එකිනෙකට පරස්පර පිළිගත නොහැකි මට්ටමක තිබූ බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය. එම කරුණු මත අදාළ චෝදනාවට විත්තිකරු වරදකරු කිරීමට තීන්දු කරන බව විනිසුරුවරයා සිය තීන්දුවෙන් සඳහන් කර සිටියේය. දඬුවම් නියම කිරීමට ප්‍රථමයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය හෙරොයින් මත්කුඩු ජාවාරම පිළිබඳ සංඛ්‍යා ලේඛණ පිරික්සීමේදී මෑත කාලයේ එම කටයුතුවල වර්ධනයක් පෙන්නුම් කරන බව සඳහන් කළාය. එහෙයින් විත්තිකරුගේ අයිතිවාසිකම් පිළිබඳව පමණක් නොසිතා හෙරොයින් ජාවාරම මැඩලීමට ඉවහල්වන ආකාරයේ උපරිම දඩුවමක් ලබාදෙන ලෙස ද රජයේ අධිනීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.මෙම විත්තිකරු හෙරොයින් ජාවාරමේ නිරත වී ඇති බව අධිකරණය හමුවේ සාක්ෂි මගින් සනාථ වී තිබෙන හෙයින් ඔහුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට සනාථ කර තිබෙන බවද රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය අධිකරණය හමුවේ සඳහන් කළාය. දඬුවම් නියම කිරීමට මත්තෙන් විත්තිකූඩුවේ සිට සිය ප්‍රකාශය ඉදිරිපත් කළ විත්තිකරු තමාට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සියල්ල පදනම් විරහිත අසත්‍ය චෝදනා බව සඳහන් කර සිටියේය. අධිකරණය හමුවේ ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා විසින් විත්තිකරුට මරණීය දණ්ඩනය නියම කරන ලදී. (අධිකරණ වාර්තාකරු )
 

More News..