brand logo

හෙද හෙදියන් අදත් අසනීප වෙයි

27 March 2019

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයට සම්බන්ධ හෙද හෙදියන් ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද (27) දෙවන දිනටත් ක්‍රියාත්මකයි. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙටේටුවේ ආනන්ද හිමියන් පැවසුවේ දීමනා වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 20ක් මුල් කර ගනිමින් ඊයේ දිනයේ මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කළ බව ය. හෙද හෙදියන්ට අනතුරු දීමනාවක් වශයෙන් රුපියල් 10000ක දීමනාවක් ලබා දීම, නිල ඇඳුම්වලට ලබා දෙන දීමනාව රුපියල් 25000 දක්වා ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කෙරිණි. මේ අතර ඊයේ සිට ක්‍රියාත්මක හෙද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ජාතික රෝහල ඇතුළු රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි රෝගීහු දැඩි අපහසුතාවට පත් වූහ. කෙසේ වෙතත් තවත් ප්‍රධාන රෝහල් කිහිපයකම කටයුතු ඊයේ (26) දිනයේ සාමාන්‍ය පරිදි සිදු විය. ළමා රෝහල, කාසල් රෝහල, ද සොයිසා කාන්තා රෝහල, මහරගම අපේක්ෂා රෝහල සහ විශේෂිත ඒකකවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක නොවන බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් සඳහන් කළේය.
 

More News..