brand logo

හෙට යූටියුබ් නැති වුණත් අපේ රස්සාව තියෙනවා

31 August 2020

ලොව පුරා මේ වනවිට ඉමහත් ජනප්‍රියත්වයකට පත්ව ඇති සමාජ මාධ්‍යක් ලෙස ‘යූටියුබය’ පෙන්වා දිය හැකිය. එවන් ලක්ෂ ගණනක් වූ චැනල අතරින් ශ්‍රී ලංකාවට ‘රන් යූටියුබ් බොත්තම්’ සම්මාන ඇත්තේ අතේ ඇඟිලිවලටත් අඩුවෙනි. ඒ අතරින් අඩුම නිර්මාණ ගණනකින් සබ්ස්ක්‍රයිබ් මිලියනයක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා වාර්තා අතරට පිවිසෙන්නට පසුගියදා ‘වස්ති’ සමාගමට හැකිවිය. ඒ ස්වර්ණමය ජයග්‍රහණය ගැන ‘වස්ති’ සමාගමේ අනුෂ්ක උදාන ‘පිනිපලස’ සමගින් පිළිසඳරකට එක්වූයේ මෙසේයි. අනුෂ්ක ‘සබ්ස් මිලියනයක්’ එක්ක ලැබෙන රන් සම්මානය ගැන මොකද හිතෙන්නේ? ඇත්තටම හරිම සන්තෝසයි. මේ ‘ගෝල්ඩන් ප්ලේ බටන්’ එක යූටියුබර් කෙනෙකුට තමන්ගේ වෘත්තීය ජීවිතයේදී ලැබෙන ලොකුම ජයග්‍රහණයක්. සාමාන්‍යයෙන් අඩුම නිර්මාණ ගණනකින් මෙය ‘සබ්ස්’ ප්‍රමාණය ලබා ගැනීම ඇත්තටම වර්තාවක්. ‘වස්ති’ පටන් ගද්දි හිතුවද මේ වගේ දුරක් ඇවිත් ගෝල්ඩන් ප්ලේ බටන් එකක් ගන්න පුළුවන් වෙයි කියලා? කවදාවත් හිතුවේ නෑ. මම දුලාජ් එක්ක අපි එකට අපේ පාසල් කාලේ අන්තිම අවධියේදී ආව අදහස් තමයි අද මේ වගේ තැනකට ඇවිත් තියෙන්නේ. අනික ඒ කාලේ අපි මේ වැඩවලදී නොසෑහෙන්න මහන්සි වෙලා තියනවා. පානුයි පරිප්පුයි කාලා වැඩේ කරපු දවසුත් තිබුණා. නමුත් අද වනවිට ‘වස්ති’ කියන්නේ සමාගමක්. ‘වස්ති’ වැඩියෙන් මහන්සි වුණු නිර්මාණවලටද වැඩියෙන් ‘බැලීම්’ තිබුණේ? එහෙම කියන්න බෑ. මොකද අපි කරපු කොරෝනා දැනුවත් කිරීමේ වැඩසටහන, දේශාභිමාන ගීතය වගේ ඒවාට තිබුණු ප්‍රතිචාරවලට වඩා අඩු කුලේ පර හැත්ත, යමි පයින් යමි, සුදු අම්මියා වගේ නිර්මාණවලට තිබුණා. අපේ ප්‍රේක්ෂකාගාරයේ කැමැත්ත අකැමැත්ත වෙනස් වෙනවා. මම මුහුණු පොතේ පේජ් ඇඩ්මින්ලට ස්තුතිවන්ත වෙනවා අපිට හයියක් වුණාට. ‘යූටියුබ්’ හෙට නැති වුණොත් ඔයාලට මොනවා වෙයිද? මමත්, දුලාජුත් අපි දෙන්නගේ වෘත්තිය මේක නෙවෙයි. දුලාජ් ගුවන්යානා ඉංජිනේරුවෙක්. මම ගායකයෙක් නැත්නම් සංගීත නිර්මාණකරුවෙක්. කවදාවත් අපේ රැකියාව යූටියුබ් කර ගත්තේ නෑ. ඒක විකල්පයක්. ඒ වගේම ඉස්සරහට එන යූටියුබ් නිර්මාණකරුවන්ටත් මම කියන්නේ ජීවිතේ ගොඩයන්න කියලා මේකට එන්නෙපා. ඒත් ඉස්සරහට යන්න බලාපොරොත්තුවක් තියා ගත්තට කමක් නෑ. ‘වස්ති’ දිගටම මෙහෙම වීඩියෝ නිර්මාණ කරන්නද හිතාගන ඉන්නේ? නෑ. අපේ මීළඟ පියවර චිත්‍රපටයක්. ඒ ගැන තාම මුකුත් නොකියා ඉන්නම්. ළඟදීම ඒ ගැන අපේ රසිකයන්ට දැන ගන්න ලැබෙයි. යූටියුබ් එකේ ‘වස්ති’ ට තරගයක් තියෙන්නේ කාත් එක්කද? එහෙම තරගයක් ගැන මම හිතන්නේ නෑ. අපි තවම යූටියුබය ගැන ඉගෙන ගන්නවා. අපි තවමත් දන්නේ අල්පයයි. ඒ නිසා අපි අපේ නිර්මාණ කරගෙන යනවා. දකුණු ආසියාවේ යූටියුබ් නිර්මාණකරුවෝ ගැන අදහසක් තියනවද? ඇත්තටම කිව්වොත් ආසියානු කලාපය ඇතුළේ අපි වගේ අය ඉන්නවා. ඒත් ඒ නිර්මාණ අපිට හමුවෙනවා අඩුයි. මොකද භාෂාව නිසා. නැත්තන් ගොඩක් අපි වගේ යූටියුබ් නිර්මාණකරුවෝ ඉන්නවා. එදා ‘වස්ති’ නිර්මාණ සහ අද නිර්මාණවල තාක්ෂණය තිබෙන්නේ මොන වගේ මට්ටමකද? අපි පළමු වීඩියෝ කිහිපය නිර්මාණය කළේ ජංගම දුරකථනයෙන්. අද වෙනකොට අපි නවීන තාක්ෂණය භාවිත කරනවා. අද වනවිට වස්ති කියන සමාගම ඇතුළේ ලොකු පිරිසක් රැකියාව කරනවා. එයම ලොකු ජයග්‍රහණයක්. වස්ති කියන්නේ අද ලොකු පවුලක්. ‘වස්ති’ නිර්මාණ ප්‍රමාද ඇයි? ඉස්සර අපි සති දෙකකට සැරයක් නිර්මාණයක් කරනවා. නමුත් දැන් එහෙම බෑ. අපේ ජීවිත පෙරට වඩා සංකීර්ණයි. තීරණයක් ගද්දී පිටපතක් ලියද්දි හැමෝගෙම අදහස් එක්ක තමා අලුත් නිර්මාණ බිහිවෙන්නේ. අපි කැමති අපේ ප්‍රේක්ෂකයෝ අපිව බලාපොරොත්තුවෙන් ඉන්නවට. අපේ රසිකයෝ තමා අපේ හයිය. අනුෂ්ක මේ ප්‍රසිද්ධියත් එක්ක දේශපාලනයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද? මම හිතන්නේ මොනවා හරි දෙයක් කරනවා නම් ඒ ගැන දැනගෙන ඉන්න ඕනේ. මම ඒ විෂය දන්නේ නෑ. ඉතින් මම දේශපාලනයට ගැළපෙන්නේ නෑ කියලා මම හිතනවා. චතුර රණසිංහ
 

More News..