brand logo

"හුරුළු" රකින්න අටව ගත්ත එන්ජීඕව හත් කෝටියකට විදී

02 October 2020

  රාජ්‍ය නොවන සංවිධානයක් වන හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සංවිධානය මුදල් රුපියල් හත්කෝටි හැත්තෑ ලක්ෂයක් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තියට පටහැනි ආකාරයට ලබාගෙන ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු වාර්තා අනාවරණය කරයි. මෙම සංවිධානය මින්නේරිය හා කවුඩුල්ල ජාතික වනෝද්‍යානවල සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ මුවාවෙන් පිහිටුවා ගත්තකි. 2006 වර්ෂයේ ස්ථාපිත කර ඇති මෙම රාජ්‍ය නොවන සංවිධානය මේ දක්වා කාලයේදී අදාළ මුදල් ලබාගෙන ඇති බව අතිරේක වන සංරක්ෂණ ජනරාල් ලාල් අබේගුණසේකර වන සංරක්ෂන ජනරාල්වරයාට යොමුකළ ලිපියක සඳහන් වෙයි. වන සංරක්ෂණ ආඥා පනතේ විධි විධානවලට පටහැනි ආකාරයට හුරුළු පරිසර වනෝද්‍යාන සංවර්ධන සංවිධානය ස්ථාපිත කර ඇති බවද එම ලිපියේ දැක්වෙයි. මේ වන විටත් එම සංවිධානයේ ගිණුම්වල රුපියල් මිලියන 36ක මුදලක් ඇති අතර එම මුදල් රජයේ අරමුදලට බැර කරන ලෙසද දැනුම් දී තිබේ. මෙම සංවිධානයට හුරුළු පාරිසරික උද්‍යානයේ කටයුතු කිරීම හා එයට ඇතුළුවීම තහනම් කිරීමටද අතිරේක වන සංරක්ෂක ජනරාල්වරයා නිර්දේශ කර ඇත. තවද එම සංවිධානය සිදු කර ඇති රාජ්‍ය මුදල් අක්‍රමිකතා පිළිබඳව සොයා බලා එම මුදල් යළි රජයට අයකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙසද දැනුම් දී ඇත. හුරුළු පරිසර වන උද්‍යාන සංවර්ධන සංවිධානයේ පරමාර්ථ වන්නේ උද්‍යානයට යාබද ගම්වාසීන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම, උද්‍යානයේ ශාක හා සතුන් ආරක්ෂා කිරීම, දෙස් විදෙස් සංචාරකයන්ට මාර්ග උප​දේශන සේවා සැපයීම වෙයි. මෙම සංවිධානය මගින් 2012 වර්ෂයේ සිට හුරුළු පරිසර උද්‍යානයට ඇතුළුවන දේශීය හා විදේශීය සංචාරකයන්ගෙන් නීත්‍යනුකූල නොවන අකාරයට මුදල් අය කර ඇති බවද අනාවරණය වෙයි. සංවිධානයේ අනුශාසක ලෙස හබරණ අඩවි වන නිලධාරිවරයා පත් කරන බව එහි ව්‍යවස්ථාවේ සඳහන්​ වෙයි. මෙම සංවිධානයේ සාමාජිකයින් සංඛ්‍යාව 14කි. උද්‍යානයේ ආරක්ෂාව තහවුරු කිරීම, උද්‍යානයේ සංවර්ධන කටයුතු සහ නඩත්තු කටයුතු සඳහා සහයෝගය දැකවීම, උද්‍යානයේ දියුණුවට නව අදහස් හා යෝජනා ලබාදීම, ඇතුළු කාර්යභාරයන් රැසක්ද මෙම සංවිධානය විසින් සිදු කර ඇත. උදයජීව ඒකනායක
 

More News..