brand logo

හුංගම රිය අනතුරකින් සිව්දෙනෙකු ජීවිතක්ෂයට

20 January 2020

හුංගම බටඅත ප්‍රදේශයේදී ඊයේ (19) රාත්‍රී 9.00 ට පමණ වන්දනා චාරිකාවක් ගොස් නැවත පැමිණෙමින් තිබු පෞද්ගලික බස් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරින් සිවු දෙනෙකු මියගොස් තවත් 17 දෙනෙකු බරපතල හා සුළු තුවාල ලබා රෝහල් ගත කල බව හුංගම පොලීසිය පවසයි. හුංගම පොලිස් වසමේ බට අත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇත. තංගල්ල සිට හම්බන්තොට දෙසට ධාවනය වෙමින් තිබු බස් රථයට පසු පසින් පැමිණි ත්‍රී රෝද රථයකට ඉස්සර කිරීමට ගිය ටිපර් රථයක් බසයේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ වන්දනා කටයුත්තක් සදහා සහභාගී වූ අම්බලන්තොට නෝනාගම හා ඒ අවට ප්‍රදේශයන්හි පදිංචි පුද්ගලයින් 25 කට ආසන්න ප්‍රමානයක් ගමන් කර ඇති බවත් ටිපර් රථයේ පුද්ගලයින් තිදෙනෙකු ගමන් කර ඇති බවත් පොලීසිය පවසයි. ටිපර් රථය හුංගම බට අත ප්‍රදේශයේම ව්‍යාපාරික පුද්ගලයෙකුට අයත් එකකි. අනතුරින් බස් රථයේ රියදුරු ඇතුළු එකම පවුලේ ආරක්කට්ටු පටබැදිගේ ආරියපාල [71] පියා සහ ආරක්කට්ටු පටබැදිගේ ඉරේෂා 32 දියණිය මියගොස් ඇත,ඔවුන් අම්බලන්තොට නෝනාගම ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. අනතුරින් බස් රථයේ ගමන් ගත නිශාධි සෙව්වන්දි නමැති අවුරුදු තුනක් වයසැති කුඩා දරියක්ද මියගොස් ඇති අතර ඇය ද නෝනාගම ප්‍රදේශයේම පදිංචිව සිට ඇත. අනතුරින් මිය ගිය බස් රථයේ රියදුරු රන්න වාඩිගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. බස් රථයේ හා ටිපර් රථයේ ගමන් ගත් අනෙකුත් පිරිස් තංගල්ල රෝහලට ඇතුලත් කිරීමට හුංගම පොලීසිය හා ප්‍රදේශවාසීන් එක්ව කටයුතු කල අතර ඉන් බරපතල තත්වයේ පසු වූ රෝගීන් මාතර මහා රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර ඇත. අම්බලන්තොට - අජිත් පුෂ්පකුමාර
 

More News..