brand logo

හිස නැති සිරුර ගෙන ආවේ හංවැල්ලේ සිට බසයෙන්

02 March 2021

      කොළඹ, වේල්ලවීදියෙන් හමු වූ කාන්තා මළසිරුර සහිත බෑගය ගෑස්පහ හන්දිය ප්‍රදේශයේ සිට පුද්ගලයකු තල්ලුකරගෙන විත් අත හැර දමා ගොස් ඇතැයි විමර්ශනවලදී තහවුරු වී ඇත. කළුපැහැති අලුත්ම ගමන් බෑගයක තිබූ (ට්‍රැවලින් බෑග්) මෙම කාන්තා සිරුර වේල්ලවීදිය පොලිසිය ඊයේ (1 වැනිදා) දහවල් සොයා ගත්තේය. ඊයේ සවස ගෙල කපාදමා සිරුර දෙකට නවා බෑගයට දමා තිබී මෙලෙස පොලිසියට හමුවී ඇත. මෙම බෑගය දීර්ඝ වේලාවක් මාර්ගය අසල තිබියදී වේල්ලවීදිය පොලිසියට ලද ඇමතුමක් මත එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් පේදුරුආරච්චි ඇතුළු කණ්ඩායමක් ඊයේ (1 වැනිදා) සවස 2.30ට පමණ බෑගය පරීක්ෂා කිරීමේදී මළ සිරුර හමුවී තිබේ. සී.සී.ටී.වී. දර්ශන පරීක්ෂා කිරීමේදී ගෑස්පහ හන්දිය දෙස සිට දහවල් 1.30ට පමණ පුද්ගලයකු මෙම බෑගය තල්ලුකරගෙන එන ආකාරය සටහන්වී ඇත. සැකකරු අවට අයට සැක නොහිතෙන පරිදි මෙම බෑගය රැගෙන විත් ඇත. මෙම සිද්ධීය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුරටත් සී.සී.ටී.වී කැමරා පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ සැකකරු ඊයේ (01දා) පෙරවරු 11.45 ට පමණ මෙම ගමන් බෑගය සහිතව හංවැල්ල බස් නැවතුම්පළට පැමිණ ඇති බවයි. ඔහු එම බස් නැවතුම්පොළේදී කොළඹ බලා ධාවනය වූ බස් රථයක නැගී රියැදුරු අසුනට පිටුපස අසුණේ වාඩි වී අදාළ ගමන් බෑගයද සමීපයේ තබා ගනිමින් කොළඹට පැමිණ ඇතැයි පොලිසිය පවසයි. පිටකොටුව බස්නැවතුම්පළ ආශ්‍රිත සී.සී.ටී.වී කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වී ඇත්තේ මෙම පුද්ගලයා හංවැල්ලේ සිට පැමිණි බස් රථයෙන් බැස ගෑස්පහ හන්දිය දෙසට ගමන් කර ඇති බවය. එම සැකකරු කොළඹ බලා තම බස් රථයේ පැමිණි බවට බස් රියැදුරුගෙන් හා කොන්දොස්තරගෙන් කරන ලද ප්‍රශ්න කිරීම් මගින්ද අනාවරණය විය. පසුව මෙම ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී තහවුරු වී ඇත්තේ හිස නොමැති කඳ පමණක් ඇති කාන්තා මළ සිරුරක් එතුළ තිබුණු බවයි. එම කඳ කොටසේ පාද ගැට ගසා තිබූ අතර හිස කඳින් වෙන්කර ඇත්තේ තියුණු ආයුධයකින් පහරදීමෙන් යැයිද මේ වනවිට අනාවරණය කරගෙන තිබේ. ඝාතනයට ලක් වූ කතගේ හිස සොයා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. ඝාතනය වූ කතගේ මළ සිරුර බෑගයෙන් පිටතට නොගෙනම පශ්චාත් මරණ පරීකෂණය සඳහා පොලිස් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. මෙම පශ්චාත් මරණ පරීක්ෂණය අද (2 වැනිදා) පැවැත්වීමට නියමිතය. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..