brand logo

හිරුණිකාට නිකුත් කළ වරෙන්තු නැවත කැඳවයි

10 March 2021

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව ඇය අත්අඩංගුවට ගැනීම සදහා නිකුත් කළ වරෙන්තු ආපසු කැදවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා නියෝග කළේය. දෙමටගොඩ ප්‍රදේශයේදි තරුණයෙකු පැහැර ගෙන ගොස් අයුතු ලෙස සිරකර තැබීම සම්බන්ධයෙන් ගොනු කර තිබෙන නඩුවක් අද (10) පෙරවරුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයේ පෙනී නොසිටියේය. ඒ අනුව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස දන්වා මහාධිකරණ විනිසුරුවරයා විසින් වරෙන්තු නිකුත් කරනු ලැබීය. එම නියෝගය ප්‍රකාශයට පත් වී ස්වල්ප වේලාවක් ගතවීමට පෙර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අධිකරණයට පැමිණ ඇත. ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණය හමුවේ කරුණු දැක්වා තිබේ. ඒ අනුව විත්තිකාරිය වෙනුවෙන් නිකුත් කළ තිබු වරෙන්තුව ආපසු කැඳවීමට නියෝග කළ විනිසුරුවරයා ඇය පෙර ඇප මත මුදාහැරීමට නියම කළේය. මෙහිදී විනිසුරුවරයා විසින් විත්තිකාරියට අවවාද කරමින් සදහන් කර ඇත්තේ ඉදිරියේදී නිසි වේලාවට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි. මෙම නඩුව යළි ජූනි මස 17 දා කැඳවීමට නියමිතයි.
 

More News..