brand logo

හිරගෙදර සුද්ද කරලා පාතාලෙත් කම්බස් කරන්නේ මෙහෙමයි

16 June 2020

පාතාලය පරණ සෙල්ලම් යළි අරඹා තිබේ. මතු නොව බන්ධනාගාරයේ සිටින පාතාලයන්ට රජ සැලකිලිය. ඒ අතරේ ආණ්ඩුව ජනපති කාර්ය සාධක බළකා දමා රට මිල්ටරිකරණයට රැගෙන යාමට වෙර දරන බව චෝදනා එල්ල වේ. මේ චෝදනාවලට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න උත්තර දුන්නේ මෙසේය. ආරක්ෂක ලේකම්තුමා, පාතාලය යළිත් හිස ඔසවලා? පාතාලය හිස ඔසවන්න ගත්තා. ඒ සිදුවීම් මාලිගාවත්ත, සොයිසාපුර, මිරිස්ස යන ප්‍රදේශවලයි වාර්තා වුණේ. ඒවාට සම්බන්ධ අය අල්ල ගත්තා. සිද්ධීන්වලට සම්බන්ධ බොහෝ දේ අනාවරණය කරගත්තා. ඒ කාලේ ප්‍රභාකරන් උතුරේ හැම ගොවියෙක්ගෙන්ම ටැක්ස් ගත්තා වගේ මේ අහිංසක මිනිස්සුන්ව බය කරලා පාතාලය කප්පම් ගන්නවා නම් අපිට ඒකෙන් මහජනතාව මුදාගන්න වෙනවා. පාතාල නායකයෝ සිරගෙදර ඒ අයගේ තෝතැන්නක් කරගෙන තියෙනවා.? මේ රටේ නීතිය හා සාමය රකින අංශ සියල්ලම ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේයි. මමයි ආරක්ෂක ලේකම්. දිවා රෑ නැතිව මේ රටේ මහජනතාව රකික්න වෙහෙස වන්නේ මගේ මිනිස්සු. ඒ අය මොන තරම් දිවා රෑ නැතිව මහන්සි වුණත් පාතාලය මෙහෙයවන්නට බන්ධනාගාරය ඇතුළේ තෝතැන්නක් වෙලා තියෙනවා නම් වැඩක් නැහැ. නාවික හමුදාවේ විරුවන් කිලෝමීටර් දාහක්, එක්දහස් දෙසියක් ඈත මුහුදේ සති ගණන් රැකගෙන ඉඳලා කුඩු කිලෝ දහස් ගාණක් ඇල්ලුවට වැඩක් නැහැ. පොලිස් නිලධාරීන් ජීවිත පරදුවට තියලා මොනවා ඇල්ලුවත් වැඩක් නැහැ. අපි හිරගෙවල් හරියට ප්‍රතිස්ථාපනය කළ යුතු වෙනවා. යම් කෙනකු රිමාන්ඩ් සිරභාරයට පත්වෙලා හිරගෙදරට ගියාම එයාට හිරගෙදර ඉඳන් කරගෙන යාමට සියලුම පහසුකම් බන්ධනාගාර නිලධාරීන් සපයනවා නම් ලොකු වැරැද්දක් තියෙනවා. එහෙම වුණොත් රටට ඔළුව උස්සන්න වන්නේ නැහැ. රටේ අනාගත පරම්පරාවට කවදාවත් නිදහසේ ජීවත් වන්න ලැබෙන්නේ නැහැ. දරුණු ගණයේ අපරාධකරුවන් බූස්සට ගිහිල්ලා හිරකළේ එතැන අධි ආරක්ෂිත තැනක් විදිහටයි. නමුත් දවස ගානේ පාතාලයන් ළඟ තිබිලා දුරකථන අල්ලනවා. එක සැරේ මේ සියල්ල පරීක්ෂාවට ලක් කර මේ තත්ත්වයෙන් මුදාගන්න බැරිද? බන්ධනාගාර දොපර්තමේන්තුවේත් අනිත් ආයතනවල වගේ හොඳ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම දූෂිත නිලධාරීන් ඉන්නවා. සමහර ආයතනවල හොඳ නිලධාරීන් වැඩියි. දූෂිත නිලධාරීන් ටිකයි. නමුත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ දූෂිත නිලධාරීන් රාශියක් ඉන්නවා. ඒ අතරේ මැණික් වගේ අවංක හොඳ නිලධාරිනුත් ඉන්නවා. උඩ ලයිනප් එක අප්සට් නම් දූෂිත නිලධාරීන් රැසක් ඉන්නවා නම් සිරගෙවල් භාරදීලා තියෙන්නේ ඒ වගේ දූෂිත නිලධාරීන්ට නම්. ඉදිරියටත් ටෙලිෆෝන් හම්බවෙන එක නවත්වන්න හම්බවෙන්නේ නැහැ. අඟුණකොළපැලැස්ස හිරගෙදර අලුතින් හැදුව බන්ධනාගාරයේත් දිගටම දුරකථන හම්බවෙනවා. මත්ද්‍රව්‍ය හම්බවෙනවා නේද? මේකත් පාලනය කරන්න බැරිද? අඟුණකොළපැලැස්ස කියන්නේ ලංකාවේ හොඳම ප්‍රිසන් එක. ඒකේ හැම දෙයක්ම තියෙනවා. මම මීට මාස දෙකකට කලින් ඒ හිරගෙදර බලන්න ගියා. ඒ හිරගෙදර සීසීටීවී කැමරා හැට නවයක් නැත්නම් හැත්තැනවයක් තිබුණා. එදා වැඩ කළේ 29යි. අනිත් එකක්වත් වැඩ නැහැ. ඔච්චර අලුත් සීසීටීවී කැමරා කැඩෙන්න විදිහක් නැහැ. අද බැලුවොත් ඔය සීසීටීවී කැමරා එකක්වත් වැඩ නැහැ. මොකක්ද හේතුව අබිරහසක් මේ අපරාධවලින් 90%ක් වන්නේ හිරගෙවල් තුළින්. මේ අනුව එම අපරධ රැල්ල නවතියි කියලා සහතික වන්න පුළුවන්ද? මට එකපාරටම සහතිකයක් දෙන්න බැහැ. හැමදේටම කාලයක් ගත වෙනවා. බන්ධනාගාරවල නායකයෝ ඉන්නවා ගෝලයෝ එළියේ ඉන්නවා. නායකයන්ගේ කමාන්ඩ් එක නැති වුණාම ගෝලයෙක් නායකයා වෙලා එන්න පුළුවන්. ඒ නිසා තමයි පොලිසිය, එස්.ටී.එෆ්. කියන නීතිය ආරක්ෂා කරන අංශ ශක්තිමත් කරන්නේ. ඒ නායකයන්ට දුරකථන පාවිච්චි කරන්න බැරි නම් අණක් එන්නේ නැහැ එළියට. එළියේ ඉන්න අයව පාලනය කරන්න වැරදිකාරයෝ ඇතුළට දාන්න ටික දවසක් යයි. මේක කරන්න බැරි දෙයක් නෙවෙයි. බන්ධනාගාර ජේලර් කෙනකුගේ ගිණුමේ කෝටි ගාණක් තියෙනවා කියලා හෙළිවුණා. පැමිණිලි ආපු දූෂිත නිලධාරීන් ගැන අපරාධ පරීක්ෂණ දෙපර්මේන්තුව ගිය සුමානේ පරීක්ෂණ ආරම්භ කළා. එක පාරට මිනිහෙක් ​පොහොසත් වෙනවා නම් ඒ කොහොමද කියාල සොයා බැලිය යුතුයි. රජයේ රැකියා කරන අයකු ලක්ෂ ගණන් මිලියන ගණන් වියදම් කරනවා නම් කොහොමද ලැබුණේ කියලා සොයා බලනවා. මේ ඔක්​කොම අහිංසක මිනිස්සුන්ගේ සල්ලි. ඒ සඳහා අල්ලස් කොමිසමට යැවිය යුතු ඒවා ඒ පැත්තටත් නීතිපතිට යවන්න ඕන ඒවා ඒ පැත්තටත් යොමු කරනවා. මෙච්චර චෝදනා ඇත්නම් ඇයි බන්ධනාගාර නිලධාරීන්ට දඬුවම් දෙන්නේ නැත්තේ? එක පාරට සුනාමි ආවා වගේ කරන්න බැහැ. එයාලත් රජයේ සේවකයෝ. සමහරු කොහොමත් හදන්න බැහැ. ඒ අය ඉවත් කරලා අලුත් අය දැමිය යුතුයි. හදාගන්න පුළුවන් අයට යුනිෆෝම් එකේ ගෞරවය තියාගෙන ජීවත් වෙයන් දරුවෝ කියලා හොඳින් අවවාද කරලා කිව්වොත් සුළු අඩුපාඩු හදාගෙන හැදෙන්න පුළුවන්. දැන් බන්ධනාගාර නිලධාරීන් වගකීම ඔළුවට අරන් තියෙනවා. ඒ අය වෙනුවෙන් අපි ඉන්නවා කියලා පෙන්වා දී තියෙනවා. අපි රටේ ජනතාවට ජීවත් වෙන්න පරිසරය හදන්න යද්දී නීතිරීති ක්‍රියාත්මක විය යුතුයි. නිසි පරිදි යාන්ත්‍රණය පණගන්වලා ගියාම ප්‍රශ්නය විසඳෙයි. ජනපති ඔබ යටතේ කාර්ය සාධක බළකාය හදලා රට මිල්ටරිකරණයට යවන බවට චෝදනා එල්ල වුණානේ? ජනාධිපතිතුමා කාර්ය සාධක බළකා දෙකක් ගිය සුමානේ පත් කළා. එකක් පුරාවිද්‍යා ස්ථානවල ආරක්ෂාවට. අනෙක සමාජයේ මිනිස්සුන්ට සාමයෙන් සතුටින් ජීවත් විය හැකි පරිසරයක් ඇතිකිරීම සඳහා. පළවැනි එකේ අවුලක් නැහැ. දෙවැනි එක කමල් ගුණරත්නට රජයේ නිලධාරීන්ට බලපෑම් කරන්න තනතුරු දීලා කියලා සමාජ මාධ්‍යවලින් ගහන්න ගත්තා. මට රජයේ නිලධාරීන්ගේ වැඩවලට ඇඟිලි ගහන්න, බලපෑම් කරන්න අවශ්‍යතාවක් නැහැ. ජනාධිපතිතුමාටත් කිසිම අවශ්‍යතාවක් නැති බව මම දන්නවා. මෙය හුදෙක්ම රටේ ජනතාව, අනාගත පරම්පරාව ගැන හිතලා කරපු දෙයක්. එය ඉපදුණු හා උපදින්න ඉන්න දරුවන්ට යහපත් රටක් ඇති කරන්න තමයි කාර්ය සාධක බළකාය ඇති කළේ. ඒ කාර්ය සාධක බළකායට පත් කළ අය නීතිය හා සාමයට සම්බන්ධ අය. මෙහි කිසිම මිල්ටරිකරණයක් නැහැ. ඒ මිල්ටරිකරණය කරන්න හදනවා කියන අයටත් මේ සමාජයේ ජීවත් වන්න යහපත් පරිසරයක් හදන්න කරපු වැඩපිළිවෙළක් තමයි මේක. තිස්ස රවීන්ද්‍ර පෙරේරා ඡායාරූප - සමන් අබේසිරිවර්ධන
 

More News..