brand logo

හිමාලිගේ උගුලට නා හිමියෝ කොටුවුණ හැටි

09 January 2021

  ඇය නමින් හිමාලි ප්‍රියදර්ශනීය. හතළිස් තුන් හැවිරිදි හිමාලි පදිංචිව සිටියේ හොරණ, මීගැත්තර පාරේය. ඇය ජීවන වියදම සොයා ගත්තේ බ්‍රෝකර් වැඩවලින් සහ බයිට් හදන ව්‍යාපාරයකිනි. හිමාලිට සිටියේ දියණියක් හා පුතුන් දෙදෙනෙකි. ඔවුන්ගෙන් කුඩා පුතු මහණ කර තිබුණේය. හංවැල්ල, කොඩිකන්ද, ආරණ්‍ය සේනානයේ ඇගේ පුතු මහණ කරන්නේ කිරිගල සිරි විජිත නමිනි. ඒ 2015 දී එම ආරණ්‍ය සේනාසනයේ නායක හිමියන් වූ උඩුවිල සිරිධම්ම හිමියන් යටතේය. ඉන් වසර කිපයකට පසු කිරිගල සිරි විජිත සාමණේර හිමියන් 2019 දී සිවුර හැර දමා නිවසට ආවේය. ඊට හේතුව ලෙස කීවේ නායක හාමුදුරුවන්ගෙන් විවිධ කරදර වන බවයි. එසේ නිවසට පැමිණ කාලයක් සිටි නිමාලිගේ මහණ වූ පුතු යළි ආරණ්‍ය සේනාසනය බලා යන්නේ මීට මාස එකහමාරකට පෙරය. පවුලේ ජීවන බර දරා ගත නොහැකි වෙද්දී නිමාලිගේ හිතත් තම බාල පුතුව යළි ආරණ්‍ය සේනාසනයට යැවීමට පෙලඹවීය. බයිට් ව්‍යාපාරය හා බ්‍රෝකර් වැඩද කොරෝනා හේතුවෙන් අඩාළ වීමත් නිමාලිගේ ආර්ථික තත්ත්වය පහළ වැටීමට හේතු වී තිබුණේය. එතැන් සිට සාමණේර හිමියන් බැලීමට නිතර මවත්, පියාත් සහෝදරයා හා සහෝදරියත් ආරණ්‍ය සේනාසනයටද පැමිණියහ. ‘‘අම්මේ මට මෙහේ තවත් ඉන්න බැහැ. ලොකු හාමුදුරුවෝ කරදර කරනවා. මට තනියට අයියව හරි එවන්නැයි’’දිනක් සාමණේර හිමියන් හිමාලිට කතා කර කීවේය. එම දුරකථන ඇමතුමෙන් පසු හිමාලි තම පහළොස් හැවිරිදි පුතුද කැඳවා ගොස් සාමණේර හිමියන්ගේ තනියට ආරණ්‍යයේ නැවත්තුවේය. දින කීපයකට පසු සාමණේර හිමියන්ගේ සොහොයුරාද මවගේ දුරකථනය අමතා කියා සිටියේ තමාටත් ලොකු හාමුදුරුවන්ගෙන් කරදර වන බවයි. තම දරුවන්ට වන හිංසන ගැන කෝපයට පත් හිමාලි තම සැමියාට කීවත් ඔහු එය ගණනකට නොගත්තේය. තම දරුවන්ට සිදුවන අඩ​න්තේට්ටම් ගැන හිමාලි ලොකු හාමුදුරුවන් අමතා විමසද්දී උන්වහන්සේ එය පිළිගත්තේ නැත. මේ ගැන කේන්තියෙන් පසු වූ හිමාලි මීළඟට හිතුවේ නායක හිමියන්ව මේ සිද්ධියට කොටු කරන සැලැස්මක් ගැනයි. ඒ අත​රේ ඇය පුතුන් දෙදෙනාව නිවසට රැගෙන ආවේය. ලොකු හාමුදුරුවන් බිය ගන්වා මුදල් ගන්නා සැලැස්මක් අවසානයේ හිමාලි ක්‍රියාත්මක කළාය. හිමාලිගේ උගුලට අසු වූ නායක හිමියෝ හිමාලිට යළිත් බයිට් ව්‍යාපාරය කරගෙන යාමට උදව් කරන්නට පොරොන්දු වූහ. ඒ වන විටත් හිමාලිගේ බයිට් ව්‍යාපාරය විදුලිබිල පමණක් රුපියල් ලක්ෂය ඉක්මවා තිබිණි. ‘‘උඹ ආයෙත් ඔය රස්සාව පටන් ගනින්. මම මාසෙට ලක්ෂය ගානේ මාස පහක් දෙන්නම්’’ නායක හිමියන් හිමාලිට යෝජනා කළේය. ‘‘මට එක සැරේ ලක්ෂ පහක් දෙන්න හාමුදුරුවනේ. මට ලයිට් බිල විතරක් ලක්ෂයක් ගෙවන්න ​ තියෙනවා’’ ඒ හිමාලිගේ යෝජනාවය. ‘‘මම කෝටි පහක් ස්ථාවර තැන්පත් දාලා තියෙන්නෙ. ඒකෙන් හම්බවෙන පොලියෙන් තමයි මාසෙට ලක්ෂයක් දෙන්නම් කිව්වෙ. එකපාර සල්ලි දෙන්න නම් බැහැ’’ නායක හමුදුරුවෝ දුන් පිළිතුරයි. මෙය ධන උල්පතක් බව දැනගත් හිමාලි තම පුතුට අඩන්තේට්ටම් කරන බව කියන නායක හිමියන් කොටු කරන සැලැස්මක් එතැන් පටන් ක්‍රියාත්මක කළාය. සාමණේර හිමියන්ට නායක හිමියන් අඩන්තේට්ටම් කරන්නට එද්දී හොරෙන් දුරකථනය වීඩියෝවක් ගන්නැයි හිමාලි ඉගැන්නුවේය. මවගේ සැලැස්මට අනුව යළි විහාරයට යන සාමණේර හාමුදුරුවෝ යළිත් තමාව රැගෙන යන්නැයි මවට ආයාචනය කරන්නේ එහි සිටීමට නොහැකි බව කියමිනි. කෝපයට පත් වූ හිමාලි සැමියා සමග ගොස් කුඩා සාමණේර හිමියන් නිවසට රැගෙන එන්නේ නායක හිමියන්ට නොසෑහෙන්න බැණ වදිමින්ය. සැමියා හාමුදුරුවන්ට වචනයක්වත් ​නොකීවත් හිමාලි නායක හිමියන්ගෙන් පළිගන්නට තම බ්‍රෝකර් මිතුරා සුමිත් බණ්ඩාරව තෝරා ගත්තාය. මිල්ලනිය, මාවත්ගම පදිංචි ඔහු හිමාලි සමග ගමන් බිමන් යාමට පවා නිතර පැමිණි අයෙකි. බණ්ඩාරගේ බිරිඳ සේවය කළේත් මිල්ලනිය පොලිසියේය. සාමණේර හිමියන්ට කළ දෙයට ලොකු හාමුදුරුවන් බියකර මුදල් ගන්න හිමාලිත් සුමිතුත් සැලසුම් කළහ. සාමණේර හිමියන් මෙවර පන්සලේ වූ අකරතැබ්බයක හඬ පටයක් මවගේ කීමට රැගෙන විත් තිබීමද ඔවුන්ට ආශිර්වාදයක් විය. හිමාලි හා සුමිත් කතා කරගත් පරිදි හිමාලිගේ සැමියාගේ ඩෙලිකා වෑන් රථයෙන් නායක හාමුදුරුවන් පැහැර ගන්නට යන්නේ ජනාවාරි 02 දා රාත්‍රියේය. සුමිත්ගේ බ්‍රෝකර් මිතුරෙකු වූ අං​ගොඩ පදිංචි ලක්මාල්ට කතාකර හාමුදුරුවන් පැහැර ගන්නට තව කිහිප දෙනකු සොයා ගන්නැයි දැනුම් දුන්නේය. මේ අනුව කඩවතින් ලක්මාල්වත් අංගොඩින් ලක්මාල්ගේ සගයන් හතරකුත් වාහනයට නංවාගත්තේය. ලක්මාල්ගේ ගෝලයන් අතරේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පහළොස් හැවිරිදි පාසල් සිසුවකුත්, තවත් දාහත් හැවිරිදි තරුණයකුත් සිටියේය. මෙම පිරිසත් නංවාගෙන හංවැල්ලට ගොස් කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයට එන විට රාත්‍රිය උදාවී තිබිණ. සම්පූර්ණ සිද්ධිය දැන සිටියේ හිමාලිත්, සුමිතුත්, ලක්මාලුත් පමණය. අනෙක් පිරිස දැන සිටියේ හිමාලිගේ දරුවාට අඩන්තේට්ටම් කරන නායක හිමියන් අල්ලාගෙන විත් පොලිසියට බාරදෙන සැලසුමක් ගැනය. ආරණ්‍ය සේනාසනයට ගිය පසු හිමාලි ඇතුළු පිරිස නායක හාමුදුරුවන්ගේ ආවාස ගෙයට ගියාය. ඒ මොහොතේ ආරණ්‍යයේ සිටියේ නායක හිමියන් හා අලුතෙන් මහණ වන්නට ආ තරුණයකුත් ඔහුගේ පියාත් පමණි. ආරණ්‍යයේ සිටි සාමණේර හිමිවරුන් සිව් දෙනකුම ඒ වන විට ඉගෙනුම් කටයුතු සඳහා පිටව ගොස් සිටියහ. නායක හිමියන්ගේ ආවාස ගෙට යන හිමාලි ඇතුළු පිරිස සාමණේර හිමියන්ට කරදර කළාදැයි අසමින් නායක හිමියන්ගෙන් ප්‍රශ්න කරන්නට වූහ. නායක හිමියන් එය ප්‍රතික්ෂේප කරද්දී එය පිළිගන්නා ලෙස බල කරමින් හිමාලි සාමණේර හිමියන්ගේ හඬ පටයද සියල්ලටම ඇසෙන්නට දැම්මේය. ‘‘මේකේ පොඩි හාමුදුරුවෝ කෑ ගහනවා විතරයිනෙ. මම එක තැනකවත් කතා කනරවද? මම ඕවා ගැන දන්නෙ නැහැ’’ නායක හිමියෝ තමාට එල්ලවන චෝදනා ප්‍රතික්ෂේප කළහ. ඒ වන විට හිමාලිගේ සැලැස්ම අතට ගෙන සිටි සුමිත් බණ්ඩාර පොල්ලක් ගෙන නායක හාමුදුරුවන්ට පහර දෙන්නේ ආවාස ගෙය තුළදීමය. ‘‘උඹ මේක පිළිගනින්’’ සුමිත් පහර දෙද්දී නායක හිමියන් ආයාචනා කළේ ‘‘අනේ මට ගහන්න එපා’‘ කියමිනි. ‘‘යමන් පොලිසි අපි පොලිසියට ගිහින් මේක විසඳගමු’’ සුමිත් බණ්ඩාර යෝජනා කළේය. සුමිත්ගේ ගෝලයන් ආවාස ගෙයි තිබූ හාමුදුරුවන්ගේ දිනපොත්, බැංකු පොත්, ඔප්පු ඇතුළු වටිනා සියල්ලද රැගෙන වාහනයට පැමිණියේය. පන්සලේ සිටි දෙනොව දණ ගස්වා පහර දුන් බණ්ඩාර ඇතුළු පිරිස ඔවුන්ගේ දුරකථනය, සිම් කාඩ්පත් කඩා දැමුවේය. ‘‘උඹලා මේ ගැන කියන්නේ නැතිව පන්සලෙන් පලයල්ලා නැතිනම් උඹලටත් පාඩම් උගන්වනවා’‘ බණ්ඩාරගේ මැර කණ්​ඩායම ඔවුන්ට තර්ජනය කළහ. පොලිසියට රැගෙන යන බව කියමින් රැගෙන ආ නායක හිමියන්ව මාකොල උතුර උදාන මාවතේ පිහිටි දෙමහල් නිවසකට රැගෙන එන්නේ එහි හිමිකරු බණ්ඩාර සමග බ්‍ර්‍ර්‍රෝකර් වැඩ කළ අයකු වූ නිසාය. එම නිවසේ හිමිකරුද විදෙස්ගතව සිට පැමිණ උඩු මහලේ කාමරයක සිටි නිසා එම නිවස පාළුවට ගොස් තිබුණේය. හාමුදුරුවන්ව පාන්දර 2.00 පමණ නිවසේ කාමරයකට දමා වැසුවේය. ඒ අතරේ නිවෙස් හිමිකරු ලවා ලක්මාල් ඇතුළු සහායට පැමිණි පිරිස කිරිබත්ගොඩට වෑන් රථයෙන් ඇරලවන්නට සුමිත් කටයුතු කළේය. පාන්දර 3.00ට පමණ බණ්ඩාර ලක්මාල්ට හදිසියේ ඇමතුමක් දුන්නේය. ‘‘හාමුදුරුවෝ පැන්නා ඉක්මන්නට වරෙන්’’ ඒ පණිවුඩයට ලක්මාල් අවුරුදු 17 සගයාත් සමග මාකොල නිවසට පැමිණියේය. හාමුදුරුවන්ව අල්ලා අතපය ගැට ගසා කටේ පාන්කඩ ඔබා කාමරයට දැමූ බව ලක්මාල් පැමිණි පසු බණ්ඩාර කීවේය. පසුවදා වනතුරු ලක්මාල් හා 17 හැවිරිදි තරුණයා වූ ආකාශ්ද නිවසේ නැවතී සිටියේය. ‘‘මම හාමුදුරුවන්ට ගහද්දි හාමුදුරුවො මැරුණ. බෝඩි එක කොහේ හරි දාන්න ඕනේ. මොකක්ද කරන්නේ’’ උදෑසනම ම ලක්මාල් ළඟට ආ බණ්ඩාර කීවේය. ‘‘අපි මොකක් හරි කරමු’’ ලක්මාල්ගේ පිළිතුර විය. හිමාලි තම සැමියාට කතාකර ඇඳුම් බෑගයක් ගෙන යතුරු පැදියෙන් මහරට එන්නැයි කියන්නේ යතුරුපැදිය තමාට ගෙන වෑන් රථය ඔහුට දෙන්නටයි. තමන් සිටි නිවසේ හිමිකරු වෑන්රථයේ යවා යතුරුපැදිය මාරු කර ගන්නේ ඉදිරි සැලසුම්වලටය. සවස් වෙද්දි යළිත් වෑන් රථය ගෙන්වා ගැනීමට හිමාලි හා බණ්​ඩාර කතා කරගත්හ. හිමාලි යළිත් සැමියා ඇමතුවේ වෑන් රථය ගෙන්වා ගන්නටය. නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කරන්නේ තමාට වෑන් රථය දිය නොහැකි බව කියමිනි. හිමාලිගේ සැමියා මේ වනතුරුත් සිදු වූ කිසිදු දෙයක් දැන සිටියේ නැත. වෑන් රථය ගෙන්වා ගත නොහැකි නිසා වාහනයක් සොයා ගැනීමට ලක්මාල්ට පවරන්නට බණ්ඩාරට සිදුවිය. ‘‘හරි මම ජාතික රෝහලේ යාළුවෙක්ගේ ත්‍රීවීල් එක්ක තියෙනවා. ඒක අරන් එන්නම්’’ එය භාරගත් ලක්මාල් අඳුර වැටෙද්දී ත්‍රිරෝද රථයෙන් එහි ආවේය. ලක්මාල් ආකාශ්ද සමග පැමිණියේය. කාමරයේ වැටී තිබූ නායක හිමියන්ගේ සිරුරේ වූ සිවුරු කොටස් කපා ඉවත් කර නිවෙස් හිමියාගේ කමිසයක් හා සරමක්ද ඇන්දුවේ බණ්ඩාරය. එම කාමරයේ ඇඳ ඇතිරිල්ල ගලවා ලෙඩෙක් ගෙනියන ආකාරයට එය පොරවා ත්‍රිරෝද රථයේ පසුපස ආසනයෙන් මළ සිරුර තබන්නට සූදානම් කළේය. මුහුණට මාස්ක් එකක් දමන්නට බණ්​ඩාර යෝජනා කළේය. ‘‘අපි දෙන්නා පිටිපස්සෙ වාඩිවෙලා හාමුදුරුවෝ මැද්දෙන් තියා ගමු. අකාශ් මල්ලි මේ රුපියල් දාහෙන් බයික් එකට පෙට්‍රල් ගහලා මේ කෑන් එකට ඉතිරි සල්ලිවලට පෙට්‍රල් අරගෙන එන්න’‘ හිමාලි අකාශ්ට කීවේය. ලක්මාල් ත්‍රිරෝද රථය පදවාගෙන යද්දී හිමාලි හා බණ්ඩාර රෝගියකු රැගෙන යන අයුරින් නායක හිමියන් මැද හිඳුවා ගෙන ගියහ. ‘‘ලක්මාල් කොහේ හරි කනත්තක් හම්බ වෙනකන් යමු’‘ බණ්ඩාරගේ යෝජනාව විය. ලක්මාල් ත්‍රිරෝද රථය රැගෙන ගියේ කොටදෙණියාව කනත්තටය. වේලාව රාත්‍රි 12.00 පසු වී තිබුණේය. කනත්තෙන් බැස ගත් බණ්ඩාර මිනීවළක පස්ටිකක් ඉවත් කර ලක්මාල් සමග හාමුදුරුවන්ගේ සිරුර එතැනට දමා පෙට්‍රල් හැලුවේය. සියලු කරදර අවසන් බව සිතූ බණ්ඩාර ගිනිකූරක් ගසා හිමියන්ගේ සිරුරට ගිනි තැබීය. ඉන්පසු බණ්ඩාර හිමාලි සමග යතුරු පැදියෙන් කොළඹ බලා පැමිණියේය. කොළඹ එන අතරේ ලක්මාල් හා අකාශ් මීතොටමුල්ල කුණුකන්ද පිටිපස්සට ගොස් කැබලිවලට කැපූ සිවුරද ගිනි තැබුවේය. ඉන්පසුව ත්‍රිරෝද රථය ජාතික රෝහලේ මිතුරා වෙත භාරදී ඔවුන්ද නිවෙස් බලා ගියහ. හිමාලි හා බණ්ඩාරට යන්නට තැනක් නොවූයෙන් තමන් දන්නා පෙදරේරුවකුට කතා කර නවතින්නට තැනක් සොයා​ දෙන ලෙස ඉල්ලා සිටියහ. තලවතුගොඩ, ​ජෝතිකාරම මාවතේ අලුතින් හදාගෙන යන නිවසක වැඩ අවසන් කළ කාමරයක් මෙම යුවළට ලබා දෙන්නට පෙදරේරුවා කටයුතු කළේය. මේ අතරේ කොටදෙණියාව පොලිසියට ගිනිගත් මළසිරුරක් ගැන දුරකථන ඇමතුමක් ආවේය. රාත්‍රියේ කනත්තෙන් ගින්නක් පැවැති බවත් යතුරුපැදියක නැගුණු අයකු බලා සිටි බවත් කියවිණි. මේ අතරේ ​කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ වැඩවාසය කරන උඩුවිල සිරිධම්ම හිමියන් පැහැරගත් බවට හංවැල්ල පොලිසියට පසුදින (03) පැමිණිල්ලක් ලැබිණි. ඉන් කියවුණේ ජනවාරි 02දා රාත්‍රියේ මෙම පැහැර ගැනීම සිදුවූ බවය. විහාරස්ථානයේ සිටි පහර කෑමට ලක් වූ දෙදෙනා විහාරස්ථානයට පැමිණ සාමණේර හිමියන්ට දැන් වූ තොරතුරු අනුව මෙම පැමිණිල්ල කෙරිණි. හංවැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වසන්ත පෙරේරා යටතේ විමර්ශන අරඹද්දී හිමාලි හා කණ්ඩායම ගැන තොරතුරු ලැබෙන්නට විය. මේ සම්බන්ධ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් දැනුවත් කරන්නේ හංවැල්ල පොලිස් ස්ථානාධිපතිය. මෙම විමර්ශන සඳහා මිරිහානින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා හට විමර්ශන භාර කරන්නේය. හංවැල්ල පොලිසිය හා මිරිහාන පොලිසිය විමර්ශන අරඹා හිමාලිගේ නිවසට යද්දී සිටියේ මහණ වී සිට ගෙදර පැමිණි පුතු පමණි. එහි අවට පරීක්ෂාවේදී වූ යතුරුපැදිය මවගේ මිතුරා වූ බණ්ඩාරගේ බව කියවිණි. බණ්ඩාරගේ බිරිඳ මිල්ලනිය පොලිසියේ පොලිස් කාන්තාවක් බවද එහිදී හෙළිවිය. මෙම පිරිස අතුරුදන් වූයෙන් විමර්ශන අරඹද්දී මිරිහාන අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් කුමාර (84762) ට ලද ​ඔත්තුවකින් හෝකන්දර නිවසක සැඟවී සිටින හිමාලි හා බණ්ඩාර ගැන කියවිණි. වහාම ඔවුන් අත්අඩංගුවට ගන්නේ ඒ අනුවය. ඉන්පසුව ඝාතනයේ සුලමුල සොයා ගන්නා විටත් කොටදෙණියාව පොලිසිය නායක හිමියන්ගේ දේහය අඳුනාගෙන විමර්ශන කරගෙන ගොස් තිබිණි. මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරුවන් වූ හිමාලි හා බණ්ඩාරගෙන් ලද තොරතුරු මත හිමිනම පැහැර ගැනීමට දායක වූ සිව් දෙනෙක් කොටු කෙරිණි. ත්‍රිරෝද රථය හා වෑන් රථයත් සොයා ගැනිණි. ඝාතනයේ සුල මුල සියල්ල හෙළි වුවද ලක්මාල් අතුරුදන් වී සිටියේය. මුදල් තණ්හාවට හිමිනම ඝාතනය කළ සැලසුම හෙළි කරමින් සැකකරුවන් වූ හිමාලි ඇතුළු පිරිස මහ උළු ගෙදරට යන්නේ අනාගතයම අඳුරු කර ගනිමිනි. තිස්ස රවීන්ද්‍ර පෙරේරා
 

More News..