brand logo

හින්දුන්ට මල් ගෙන යන අය අතර මුස්ලිම්වරුත් ඉන්නවා

07 September 2020

මලින් හිස සරසා ගැනීමට හින්දු කාන්තාවෝ බොහෝ මනාපය. හින්දු ආගම අදහන අපිද කෝවිලට ගොඩවීමට ප්‍රථම පූජාවට විශේෂිත වූ මල් රැගෙන යාමට අමතක නොකරමු. හොඳ සහ නරක යන දෙකෙන් සෑම විටම අප හොඳ පමණක් බලාපොරොත්තු වන අතර, අප හට සිදුවන විපත්වලින් අපව ආරක්ෂා කර දෙන ලෙස දෙවියන් ළඟට ගොස් ඉල්ලා සිටීම, කෝවිලකට ගොඩ වන අප සැමගේ ප්‍රමුඛතම ඉල්ලීමකි. අපව ආරක්ෂා කරන දෙවියන් වෙනුවෙන් ස්තුතිය පළකිරීමට මල් පූජා කිරීම අතීතයේ සිට කරනා දෙයකි. ශිව, විෂ්ණු, කතරගම, පාර්වතී. සරස්වතී, ලක්ෂ්මී හා ගණ දෙවියන් විශේෂිතම දෙවිවරුන් ලෙස අපි සලකමු. එක් එක් දෙවියන් වැඳීමට, එක් එක් මල් වර්ග භාවිත කරයි. එලෙසම සියලුම දෙවියන් සඳහා පොදුවේ භාවිත කරන මල් වර්ගද තිබේ. උදෑසන, දවල් හා සවස ලෙස කාලයට අදාළව පූජාවට ගන්නා මල් වර්ගද තිබේ. උදාහරණ ලෙස උදෑසන කාලයට: නෙළුම්, පිච්ච, සේපාලිකා, ඉද්ද මල් පූජා කරන අතර දහවල් කාලයට: අරලිය, සුදු නෙළුම් මල් පූජා කරයි. සවස් කාලයට: ඕළු, නෙළුම් මල් පූජා කරයි. එසේම විෂ්ණු දෙවියන්ට: නෙළුම් මල්, ශිව දෙවියන්ට: බෙලි මල්, සල් මල්, කතරගම දෙවියන්ට: නෙළුම් මල්, රතු අරලිය මල්, ගණ දෙවියන්ට: රෝස මල්, රතු වද මල්, නෙළුම් මල්, පාර්වතී (කාලි මෑණියන්): පිච්ච මල්, රතු අරලිය මල් පූජා කිරීම උදාහරණ ලෙස දැක්විය හැක. එසේම පූජාවන් සඳහා නුසුදුසු මල් වර්ගද තිබේ. අප මුතුන්මිත්තෝ මල්වල ඇති ස්වභාවික ඖෂධීය ගුණය හඳුනාගත් බැවින් සෑම දුකක්, වේදනාවක් දරන කාන්තාවන්ගේ හිසකෙස්වල මල් පලඳා ඔවුන් හැඩ කළෝය. මල්වල ඖෂධීය ගුණය ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් කළෝය. සෑම මලකම ඇති සුවඳ වෙනස් වන ලෙසම ඒවායේ ඇති ඖෂධීය ගුණයද එකිනෙකට වෙනස් වේ. ක්ලාන්තය, ඇස් ආශ්‍රිත ලෙඩ, සමේ රෝග, ලස්සන, හිතේ සැනසීම, අංශභාගය, කන්වල ප්‍රශ්න, හිස් හොරි, මුඛ රෝග, නහරවල රෝග, නින්ද නොයාම, හිසරදය වැනි බොහෝ ලෙඩ රෝග සඳහා ඖෂධ ලෙස මල් වර්ග භාවිත කර ඇත. මල්වල ඇති ප්‍රාණ ශක්තිය හිස තුළට අවශෝෂ කරගෙන හිසට සිසිලසක් ලබාදෙන අතර මානසික ආතතිය අඩුකර හිසට මෙන්ම මුළු සිරුරටම නැවුම් බවක් ලබාදෙයි. පූජා කිරීමට පමණක් මල් භාවිත කරන ඔබ, මල්වලින් ඉටු කරනා ඖෂධීය කාරණා ගැන මින් පෙර අසා නොතිබෙන්නට ඇත. කොළඹ අවට ඇති කෝවිල් අසල ඇති මල් කඩවලට මල් ලැබෙන්නේ කෙසේද? ඒවා ගෙන එනු ලබන්නේ කොහේ සිටද? පුංචි මල් එකින් එක ගෙන මාලා ගොතන අයගේ දහඩිය මහන්සිය පිළිබඳ අප බොහෝ දෙනා දන්නේද නැත. කෝවිල අසල ඇති කඩයකින් රුපියල් 100 ක්, 200 ක් දී මල්, මල් වැලක්, මල් මාලයක් මිලදී ගන්නා අප ඒ පසුපස ඇති කතාන්දරය සොයා වැල්ලවත්ත, හැව්ලොක් ටවුමේ ඇති ශ්‍රී මයුරපදි භද්‍රකාලී කෝවිල අසල ඇති මල් කඩ පේළියේ කඩයකට ගොඩ වුණෙමු. ඉද්ද මල් ගොන්නක් ඔහු ඉදිරියේ ඇත. එයින් එකින් එක ඔහු අත වූ නූලට ඇමිණෙන්නේ මැෂිමක් ලෙස වේගයෙනි. ඉද්ද මල් 120 ක් යොදා මල් මාලයක් ගෙතීමට ඔහුට යන්නේ විනාඩි 10 ක් වැනි සුළු කාලයකි. ඔහු ඩබ්ලිව්. සුරේෂ්ය. වසර 40 ක, 45 ක පෙනුම ඇති ඔහුගේ ජීවිතයෙන් වසර 20 කට වඩා වැඩි කාලයක් ඔහු මල් කර්මාන්තයේ යෙදී සිටී. ඔහු ඉදිරියේ පිච්ච මල්, ඉද්ද මල්, දහස්පෙතියා මල්, රත් මල්, රාජ පොහොට්ටු ආදී මල් වර්ග රාශියකින් සැදුම් ලද විවිධ මල් මාලාද, කොහොඹ කොළ පමණක් යොදා ගනිමින් සෑදූ මාලාද තිබුණි. (කොහොඹ කොළ මාලය කාලි මෑණියන්ට පූජා කරයි.) එක් එක් මල් වර්ගය අනුව මාලාවේ ප්‍රමාණය අනුව මල් මාලාවල මිල තීරණය වේ. පිච්ච මල් හෝ ඉද්ද මල් ඇති මල් වැලක යාරයක මිල රුපියල් 20 කි. කුඩාම ප්‍රමාණයේ ඉද්ද මල් මාලයක් රු. 100 ක් වේ. එම ප්‍රමාණයේම පිච්ච මල් මාලයක් රු. 150 ක් වේ. තනි සුදු (කුඩා) මාලයකට දහස්පෙති හෝ රාජ පොකුරු මල් එකතු කළ විට එයද රුපියල් 150 කි. එයට අමතරව කුඩා ප්‍රමාණයේ රතු පොකුරු මල් (රත් මල්) මාලයක් රු. 150 කි. රු. 350 සිට 1000 කට අධික මුදලකට මල් මාලයේ ප්‍රමාණය හා යොදාගන්නා මල් වර්ග අනුව මිල වෙනස් වේ. මෙයට අමතරව හින්දු ආගමික විවාහයකට අවශ්‍ය මල් මාලාද ඉතා අලංකාරවත් ලෙස සකසා දෙනු ලැබේ. යම් කෙනකුට මල් මාලයක් අවශ්‍ය වූ විට අත්තිකාරම් මුදලක් ගෙවා අවශ්‍ය ආකාරයේ මල් මාලයට ඕඩරය ලබා දීමට මෙහි ඇති වෙළෙඳ සලකට ගොඩවන අයකුට හැකිය. අවශ්‍ය දිනයට, කලට වේලාවට එම ඕඩරය ඉටුකර දීමට එම වෙළෙඳ මහතුන් සමත් වේ. මේ මල් වෙළෙඳ සල් සඳහා අවශ්‍ය මල් පුත්තලම හා බදුල්ල ප්‍රදේශවලින් ගෙන එනු ලබයි. පිච්ච මල් හා දහස්පෙතියා මල් බදුල්ලේ සිට ගෙන එනු ලබන අතර ඉද්ද මල් හා රාජ පොකුරු මල් පුත්තලමේ සිට ගෙන එනු ලබයි. එම ප්‍රදේශවලින් මල් ගෙනෙන ලොරි කෙලින්ම එන්නේ පිටකොටුව මැනිං වෙළෙඳ පොළටය. එතැන් සිට කෝවිල් අසල ඇති මල් වෙළෙඳ සල් වෙත මල් ගෙන ඒමට ඒජන්ට්වරුන් සිටී. (නියෝජිතයන්) ඔවුන්ගේ ලොරිවලින් මේ වෙළෙඳ සල් වෙත මල් ගෙන ඒමට අදාළව ප්‍රවාහන ගාස්තු දිනපතා ගෙවන අතර සතියකට වරක් මල් සඳහා යන පිරිවැය ගෙවිය යුතු වේ. මේ මල් කිරනු ලබන්නේ සේරුවලිනි. එක් මල් සේරුවක් රුපියල් 150 ක්, 180 ක් මිල වේ. සතියේ දින 7 න් සිකුරාදා, සෙනසුරාදා හා ඉරිදා දිනවල මල් බිස්නස් එක සරුය. ඒ දින තුනේ මිලදී ගන්නා මල් ප්‍රමාණය අනෙක් දිනවලට වඩා වැඩිය. අනෙක් දිනවල සාමාන්‍යයෙන් සේරු 40 ක්, 50 ක් පමණ ගත්තද පෙර සඳහන් දින තුනේදී සේරු 80 ක්, 100 ක් පමණ ගනු ලබයි. සෑම දිනකම උදෑසන 6.30-7.00 අතර ඒජන්ට්වරුන් විසින් වෙළෙඳ සල් සඳහා මල් සපයනු ලැබේ. පුත්තලමේ සිට මල් වගා කර වැල්ලවත්ත, හැව්ලොක් ටවුමට මල් සපයන්නන් දෙදෙනකු සිටිති. එක් අයෙක් හින්දු ආගමිකයෙකි. අනෙක් පුද්ගලයා මුස්ලිම් ජාතිකයකු වීම විශේෂිත කරුණකි. එපමණක් නොව මෙහි මල් වෙළෙඳ සල් 10 ක් පමණ ඇති අතර එක් වෙළෙඳ සලක හිමිකරු මාතර ප්‍රදේශයේ සිංහල ජාතිකයෙකි. ශ්‍රී මයුරපදි භද්‍රකාලි අම්මාන් කෝවිල අවට ප්‍රදේශයේ සිටින පුද්ගලයන් කිහිප දෙනෙක් දිනපතා රත්මල් එකතු කරවිත් මෙම වෙළෙඳ සල්වලට අලෙවි කරති. රුපියලේ සිලි සිලි බෑගයක් පිරවූ රත් මල්වලට රු. 300-500 අතර මුදලක් ගනු ලබයි. කොහොඹ කොළ ගෙනවිත් දෙන්නෙත් මොවුන් විසින්මය. මේ කණ්ඩායමට හත්දෙනකු පමණ සිටිති. මොවුන් විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයන් වීමද තවත් සුවිශේෂත වූ කරුණකි. මත්ද්‍රව්‍ය සඳහා අවශ්‍ය දවසේ වියදම සොයා ගන්නේ මේ රත්මල් හා කොහොඹ කොළ අලෙවිය මගිනි. පුත්තලමේ සිට මල් වගා කර දිනපතා ලංකාව පුරාම අලෙවි කරනා එක් පුද්ගලයෙක් වන්නේ ලිංගුසාමිය. ඔහු 1972 සිට මෙම මල් වගා කිරීමේ ව්‍යාපාරයේ නිරත වූවෙකි. රට පුරා ඔහු දිනපතා සේරු 5000 ක ප්‍රමාණයක් ඉද්ද මල් සපයනු ලබයි. දැනට මෙම ප්‍රදේශ​යේ මල් වගාකරුවන් 20 ක් පමණ සිටී. ලිංගුසාමි මහතාට තමාටම කියා මල් වත්තක් නොමැත. ප්‍රදේශයේ දිළිඳු පවුල් වෙත ඉද්ද මල් පැළ ඔහු විසින් බෙදාහරින අතර ඒවා නඩත්තු කර මල් ලබා දීම එම පවුල් වෙත පැවැරෙන රාජකාරියයි. එක් පවුලක් සඳහා පැළ 200 ක්, 300 ක් වැනි ප්‍රමාණයක් පවුල් 350 කට ඔහු විසින් බෙදා දී ඇත. එම පැළවලින් හටගන්නා මල් ලිංගුසාමි මහතා මිලදී ගන්නා අතර ඉද්ද මල් සේරුවක් රු. 25 සිට 60 දක්වා මුදලකට අලෙවි කරනු ලබයි. කොළඹ නගරයේ පමණක් ඔහුට අයිති මල් වෙළෙඳ සල් ගණන 30 ක් පමණ වේ. ඒ වෙළෙඳ සල්වලට පමණක් නොව දිවයින පුරාම ඔහු විසින් මල් සපයනු ලබයි. ලංකාවේ කෝවිල් අසල අලෙවියට ඇති මල් ඉන්දියාවේ සිට රැගෙන එන බව බොහෝ දෙනෙක් සිතා සිටියද දේශීය මල් අවශ්‍යතාව දේශීය වශයෙන්ම නිපදවීම පැසසිය යුතු කරුණකි. අතීතයේදී ලංකාවට ඉන්දියාවෙන් මල් ආනයනය කළද වර්තමානයේ එම තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් වී ඇත. ඉන්දියාවේ ​කේරළ ප්‍රාන්තයේ සබරිමලෙයි අයියප්පන් කෝවිලට වර්ෂය අවසානයේ යන ලාංකික හින්දු බැතිමතුන් තෛපොංගල් කාලයේදී නැවත ලංකාවට පැමිණෙයි. එසේ එනවිට පමණක් (මල් ව්‍යාපාරිකයන්) ඉන්දියාවේ සිට මල් රැගෙන විත් ව්‍යාපාර කටයුතු සුළු වශයෙන් කරනු ලැබුවත් වසරේ වැඩි කාලයක් දේශීය වගාකරුවන්ගෙන් මල් මිලදී ගනී. සාමාන්‍යයෙන් මල් වගාකරුවෙක් දිනකට රු. දෙලක්ෂ පනස්දහසක පමණ ආදායමක් ලබන අතර මෙයින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක් වියදම් ලෙස කපා හැරියද දිනක ලාභය රුපියල් ලක්ෂයක් පමණ වේ. අඩුම වශයෙන් පනස් දහසක්ද විය හැක. දුක් කම්කටොලු විඳිමින් දෙමව්පියන්ගේ උදව්වෙන් විශ්වවිද්‍යාල උපාධිය සම්පූර්ණ කර වයස අවුරුදු 45 ක් පමණ වනතෙක් රජයේ රැකියාවක් බලාපොරොත්තුව කාලය කා දමනා මිනිසුන් සිටිනා මෙවත් යුගයක ස්ව උත්සාහයෙන් නැගී සිටිනා දේශීය මල් වගාකරුවන්, මල් වෙළෙන්දන් වැනි ව්‍යවසායකයන් අප සියලු දෙනා එක්වී රැකගත යුතු නොවේද? සටහන හා ඡායාරූප දේවිකා ආරුමුගම්
 

More News..